
යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් රෝහලේ (University College London Hospital) ශල්‍යවෛද්‍යවරුන් විසින් ලොව පළමු වරට සජීවී කෘතිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කරමින් පුද්ගලයෙකුගේ මොළයේ පැවැති ගෙඩියක් (Tumour) සාර්ථකව ඉවත් කර තිබේ.
මෙම ඓතිහාසික සැත්කමට මුහුණ දී ඇත්තේ බෙඩ්ෆෝර්ඩ්ෂයර් හි පදිංචි 48 හැවිරිදි දෙදරු පියෙකු වන රීස් හිබර්ට් (Rhys Hibbert) නමැති පුද්ගලයා ය.
ඔහුගේ මොළය ආශ්‍රිතව වර්ධනය වී තිබූ මිලිමීටර 11ක ගෙඩියක් හේතුවෙන් ඔහුගේ පෙනීම අඩාල වී ඇති අතර සිරුරේ වෙහෙස සහ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ ද මතුව ඇත.
මෙම සැත්කම නාසය ඔස්සේ එන්ඩොස්කොප් කැමරාවක් ඇතුළු කර සිදු කර ඇති අතර, එහිදී ක්‍රියාත්මක වූ AI තාක්ෂණය මගින් සජීවී වීඩියෝ දර්ශන පරීක්ෂා කරමින් මොළයේ සැඟව ඇති ප්‍රධාන රුධිර වාහිනී සහ දෘශ්‍ය ස්නායුවලට හානි නොවන පරිදි සැත්කම සිදු කිරීමට වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි සැත්කමකදී රුධිර වාහිනීවලට හානි වීමේ සහ ගෙඩිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නොහැකි වීමේ අවදානමක් පැවතියද, මෙම නව තාක්ෂණය හේතුවෙන් එය වඩාත් ආරක්ෂිතව ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකි ව තිබේ.
කෙසේවෙතත් සැත්කමට භාජනය වූ රීස් හිබර්ට් මහතා පවසා ඇත්තේ සැත්කමෙන් පසු නැවතත් තමාගේ පෙනීම සහ ශක්තිය යථා තත්ත්වයට පත් වූ බවත් මෙම තාක්ෂණය මගින් තමාට නව ජීවිතයක් ලැබුණු බවත් ය.
National Institute for Health and Care Research සහ Google සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සංවර්ධනය කරන ලද මෙම AI පද්ධතිය, ඉදිරියේදී වඩාත් පුළුල් ලෙස සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති.

















































