
පාකිස්තාන හමුදා නායකත්වය සහිත පාලන තන්ත්‍රය රට ඒකාධිපතිවාදයක් දෙසට තල්ලු කරන බව පාකිස්තානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ වැඩිමහල් පුත් සුලෙයිමාන් ඊසා ඛාන් පවසයි.
දැඩි ලෙස චෝදනා කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය පියා දීර්ඝ කාලයක් තිස්සේ සිරගත කර තැබීම පිළිබඳ අදහස් දක්වමිනි.
සිය පියාට සිදුවන වධ හිංසා සහ රඳවා තබාගැනීම් පසුපස හමුදාව සිටින බවට කිසිදු සැකයක් නොමැති බවද ඔහු චෝදනා කරයි.
2023 වසරේ සිට රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයේ සිරගත කරසිටින ඉම්රාන් ඛාන්ගේ රඳවා තැබීම, බන්ධනාගාරය තුළදී ඔහුට දක්වන සැලකිල්ල සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇති ප්‍රවේශය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ජාත්‍යන්තර නීති පාර්ශ්වයන් අවස්ථා ගණනාවකදීම සිය කනස්සල්ල පළකර තිබුණි.
එවන් පසුබිමක් තුළ ඉම්රාන් ඛාන් නීතිවිරෝධී ලෙස රඳවා තබාගැනීම සහ ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.
සුලෙයිමාන් සමඟ ඔහුගේ සොහොයුරු කසීම් ඛාන් ඇතුළු ජාත්‍යන්තර නීති උපදේශකයින් මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පාකිස්තානයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අදහස් පළ කර ඇත.

















































