
දීර්ඝ කාලයක් පුරා පවතින දේශසීමා ගැටලු සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා පවත්වාගෙන යාමටත්, ඒ සඳහා සාධාරණ සහ දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමක් සෙවීමටත් ඉන්දියාව සහ චීනය එකඟතාවකට පැමිණ තිබේ.
ඒ, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර අඟහරුවාදා බෙයිජිං හිදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
දෙරටේ විශේෂ නියෝජිතයන් අතර පැවැති මෙම සාකච්ඡාව සමස්ත, ගැඹුරු, මිත්‍රශීලී සහ විවෘත එකක් බව චීන පාර්ශ්වය පෙන්වා දී තිබේ.
ඉන්දීය නිල ප්‍රකාශනයට අනුව මෙහිදී, 2024 ඔක්තෝබර් මාසයේදී කසාන් හිදී සහ 2025 අගෝස්තු මාසයේදී ටියැන්ජින් හිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඇතිවූ සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමුවී ඇත.
එමෙන්ම, දේශසීමා වෙළඳාම ඇතුළුව, දෙරටේ ජනතාව අතර සම්බන්ධතා සහ දේශසීමා හරහා සිදුවන හුවමාරුවීම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම පිළිබඳවද දෙපාර්ශවයම සතුට පළකර තිබේ.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල අඛණ්ඩ වර්ධනය සහ ප්‍රගතිය සඳහා දේශසීමා ප්‍රදේශවල සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ වැදගත්කමද ඉන්දීය පාර්ශ්වය මෙහිදී අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චීන පාර්ශ්වයේ වාර්තාවන්ට අනුව, දේශසීමා සීමා නීර්ණය කිරීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාම, දේශසීමා කළමනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීම, පවතින යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම සහ දේශසීමා හරහා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා පැවැති බව සඳහන් කරයි.

















































