
ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍ය ජාතික එතල් කේටර්හැම් (Ethel Caterham)සිය 117 වැනි උපන්දිනය සමරා තිබේ.
ගිනස් ලෝක වාර්තා පොතට අනුව, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වයස අවුරුදු 117 සම්පූර්ණ කළ පළමු තැනැත්තිය වන්නේ ද ඇයයි.
ලන්ඩනයට ආසන්න සරේ (Surrey) හි පිහිටි වැඩිහිටි නිවාසයක සිටින ඇය, පවුලේ අය සහ මිතුරන් සමඟ සිය උපන්දිනය ඉතා සතුටින් සැමරූ බව පවසා ඇත.
පසුගිය වසරේ ඇගේ 116 වැනි උපන්දිනයෙන් පසු තෙවැනි චාල්ස් රජු ඇයව හමුවීමට පැමිණ තිබේ.
1909 අගෝස්තු 21 වන දින උපත ලැබූ ඇය, ලෝක යුද්ධ දෙක, ටයිටැනික් නෞකාව මුහුදුබත් වීම, රුසියානු විප්ලවය සහ කොවිඩ්-19 වසංගතය යන සියල්ල පසුකරමින් ජීවත් වූ අයෙකි.
ඇය 2020 දී වයස අවුරුදු 110 දී කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබූ අතර, හත්වන එඩ්වඩ් රජුගේ පාලන සමයේ උපත ලබා දැනට ජීවත්ව සිටින එකම තැනැත්තිය ද වේ.
වයස අවුරුදු 18 දී තනිවම ඉන්දියාවට ගොස් ළමා රක්ෂිකාවක ලෙස සේවය කළ ඇය, පසුව මේජර් නෝමන් කේටර්හැම් සමඟ විවාහ වී හොංකොං හි මොන්ටිසෝරි පාසලක් ද ආරම්භ කළාය.
දැනට ඇයට මිණිබිරියන් තිදෙනෙකු සහ මුණුබුරන්ගේ දරුවන් පස්දෙනෙකු සිටී.
කෙසේ වෙතත්,මෙතෙක් ලෝක ඉතිහාසයේ වැඩිම කාලයක් ජීවත් වූ පුද්ගලයා ලෙස වාර්තාව තබා ඇත්තේ 1997 දී වයස අවුරුදු 122 දී මියගිය ප්‍රංශ ජාතික ජේන් කල්මන්ට් (Jeanne Calment) මහත්මියයි.


















































