
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට (23) යෙදී තිබේ.
පසුගිය 20 වැනිදා ඇය නාවල පිහිටි සිය නිවසේදී දිවි ගමන නිම කරන විට 82 වියේ පසුවූවාය.
අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේදී 1943 අගෝස්තු 23 වනදා නන්දා මාලනී මහත්මිය උපත ලැබුවාය.
නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමි විය.
කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකරයන් විසින් මෙහෙය වූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ ළමා මණ්ඩපය වෙත හඳුන්වා දී තිබුණි.
එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" නම් ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමග ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර වූවාය.
1961 වසරේ නිෂ්පාදනය කරන ලද මෙරට පළමු වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ සංගීත අධ්‍යයක්ෂණය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සිදුකරන ලද අතර එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමගින් යුග ගීයක් ගැයීමේ අවස්ථාව නන්දා මාලනී මහත්මියට උදා විය.
ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය ගායන කළ අතර එය අතිශය ජනප්‍රියත්වයට පත් "ගලන ගඟකි ජීවිතේ" නම් විය.
නන්දා මාලනී මහත්මිය විසින් සිය සංගීත ජීවිතය තුළ ගායන කළ ගී රැසක් මෙරට රසික රසිකාවියන් තුළ ඉමහත් ජනාදරයට පත් විය.
ඒ අතරට "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්", "ඔබයි රම්‍ය සඳ කිරණ" නම් ගීත ද ඇතුළත් විය.
දශක ගණනාවක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට මිල කළ නොහැකි අමිල මෙහෙවරක් ඉටු කළ ඒ මහත්මිය සම්මාන රැසකින් ද පිදුම් ලැබුවාය.
ඇයගේ අභාවය හේතුවෙන් රජය දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව පසුගිය 21,22 සහ අද දින දක්වා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණි.
මියගිය ඇගේ දේහය නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමය තුළ තැන්පත් කර තිබූ අතර ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා එහිදී දේශපාලනඥයින්, කලාකරුවන්, මහජනතාව ඇතුළු නන් දෙසින් බොහෝ පිරිසක් එක් වූ අයුරුද දක්නට ලැබුණි.
ඇයගේ දේහය පිළිබඳව ඊයේ පෙරවරුවේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30ට රිය පෙරහැරකින් බොරැල්ල කන්ත වෙත රැගෙන එනු ලැබීය.
එහිදී ඇයගේ අන්තිම කැමති පත්‍රය අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණ කථන පැවැත්වීමකින් තොරව දේහය ආදාහනය කරනු ලැබූ අතර ඒ අනුව දශක ගණනාවක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කරමින් නන්දා මාලනී මහත්මිය ඊයේ පස්වරුවේ සදහටම දැයෙන් සමුගෙන ගියාය.


















































