
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුවක් හෙට (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීය.
ඒ අනුව එම පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය ලබාගැනීම සඳහා වන විවාදය හෙට පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති හෝ වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.
අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පස්වරු 1.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.










































