
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර යම් සන්නිවේදනයක් හෝ කථාබහක් සිදුවන බවට පළවන වාර්තා උතුරු කොරියානු නායකයාගේ නැගණිය වන කිම් යෝ ජොන්ග් විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර ඇත.
උතුරු කොරියානු රාජ්‍ය පුවත් සේවය වන Korean Central News Agency (KCNA) හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් 38 හැවිරිදි ඇය සඳහන් කර ඇත්තේ, අමෙරිකාව තවදුරටත් උතුරු කොරියාව කෙරෙහි 'සතුරු' ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.
දෙරටේ නායකයන් අතර සන්නිවේදනයක් සිදුවන බවට වොෂින්ටනයෙන් ලැබෙන වාර්තා පිළිබඳව තමන් සම්පූර්ණයෙන්ම නොදන්නා බව පැවසූ ඇය, සිය සොහොයුරාගේ විදේශ ප්‍රතිපත්තියට අදාළව තමන් නොදන්නා එකම කාරණයද මෙය විය හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.







































