
කුතුහලය, ශාස්ත්‍රීය නිදහස සහ අඛණ්ඩතාව මත පදනම් වූ ශක්තිමත් පර්යේෂණ සංස්කෘතියක් රට තුළ ගොඩනැගීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවති 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
“අර්බුදවලින් මිදී යථා තත්ත්වයට පත්වන අනාගතයක් වෙනුවෙන් පාලනය, යටිතල පහසුකම් සහ නවෝත්පාදනය යළි සිතා බැලීම” මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වී තිබේ.
අර්බුදකාරී අවස්ථාවලදී වඩාත්ම පීඩාවට පත්වන්නේ සමාජයේ අවදානමට ලක්වූ ප්‍රජාවන් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, රටේ අනාගත ශක්තිමත්භාවය සියලු දෙනා බලගන්වන සාධාරණ සමාජයක් මත පදනම් විය යුතු බවද අවධාරණය කළාය.
ස්වාභාවික ආපදා, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මතුවෙමින් පවතින නව අභියෝගවලට මුහුණදිය හැකි පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පයද පුළුල් කළ යුතු බව ඇය සඳහන් කළාය.
එමෙන්ම, ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ආපදා අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ලබාදුන් දායකත්වයද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අගය කළාය.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභියෝගාත්මක ප්‍රශ්න ඇසීමට සහ බුද්ධිමය සීමා පුළුල් කිරීමට පර්යේෂකයන්ට අවශ්‍ය නිදහස ලබාදිය යුතු බවද ඇය පෙන්වා දුන්නාය.
කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණයන් භාවිතය සීමා කිරීම වෙනුවට ඒවායේ සදාචාරාත්මක හා සමාජීය බලපෑම් හඳුනාගනිමින් විවේචනාත්මක චින්තනය වර්ධනය කරගැනීම වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාව වෙනත් රටවල නිෂ්පාදිත තාක්ෂණයන් හුදෙක් භාවිතා කරන රටක් බවට පමණක් සීමා නොවී, දේශීය ප්‍රමුඛතාවන්ට ගැළපෙන නවෝත්පාදන සිදුකරමින් ගෝලීය දැනුමටද දායක විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.










































