
1866 සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා පොලිස් සේවයට එළැඹෙන සැප්තැම්බර් 3 වැනිදාට වසර 160ක් පිරීම නිමිත්තෙන් විශේෂ පාපැදි තරගාවලියක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.
පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම සංවත්සර පාපැදි සවාරිය ශ්‍රී ලංකා පොලීසිය විසින් සංවිධානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
අදියර 3කින් සමන්විත මෙම පාපැදි තරගාවලියේ පළමු අදියර සැප්තැම්බර් 1 වැනිදා කොළඹ පොලිස් මූලස්ථානය අසලින් ආරම්භ වී දඹුල්ල දක්වා ගමන් කිරීමට නියමිතය.
දෙවන අදියර දඹුල්ලේ සිට පුත්තලම දක්වා පැවැත්වෙන අතර, තෙවන සහ අවසන් අදියර පුත්තලමෙන් ආරම්භ වී බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය අසලින් අවසන් වේ.
තරගාවලිය සඳහා වන අයදුම්පත් ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවියෙන් භාගත කරගත හැකි අතර, සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා වේ.
මෙම තරගාවලියේදී විශේෂ දක්ෂතා දක්වන තරගකරුවන් පොලිස් ක්‍රීඩා සංගමයට ඇතුළත් කරගැනීමටත්, ඔවුන්ගේ සුදුසුකම් මත පදනම්ව ශ්‍රී ලංකා පොලිස් සේවයට බඳවා ගැනීමටත් තීරණය කර තිබේ.







































