
ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (18) පස්වරුවේ වත්තල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔහු සමගින් එදිනම රාත්‍රියේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී ඊට ආධාර අනුබලදීමේ චෝදනා මත තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව ඇත.
එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක්, ජීව පතරොම් 12ක් සහ හිස් පතරොම් කොපු 6ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ඒ අනුව මෙම සිදුවීමට අදාළව මේ වන විට සැකකරුවන් තිදෙනෙකු සහ එක් සැකකාරියක ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 32, 35 සහ 28 වයස්වල පසුවන කොළඹ 14, කොළඹ 12, දළුපොත හා සැකකාරිය අවුරුදු 28ක් වන කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ඉකුත් 15 වනදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරනු ලබයි.







































