UAE තෙල් ප්‍රවාහන නැව් දෙකකට ඉරානයෙන් ප්‍රහාර
July 14, 2026 05:45 am
හෝමුස් සමුද්‍ර සන්ධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නැව් දෙකකට ඉරාන කෲස් මිසයිල ප්‍රහාර එල්ල වීමෙන් ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
තුවාල ලැබූ අටදෙනාගෙන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවත් ඉන් හයදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර දෙදෙනෙකු යුක්රේන ජාතිකයින් වන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කර සිටී.
එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මොම්බාසා සහ අල් බහියා යන නැව් දෙක ඕමාන් මුහුදු සීමාවේ පවතින හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණු මංතීරුවේ ගමන් කරමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවය.
මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයා මොම්බාසා නැවේ සිටි අයෙකු බව ද සඳහන්.
මෙම ප්‍රහාරය හේතුවෙන් නැව් දෙකෙහිම ගින්නක් හටගෙන ඇති අතර, ඉන් නැව්වලට දැඩිව හානි සිදුව ඇත.
කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙය "නිර්ලජ්ජිත ප්‍රහාරයක්" ලෙස හෙළා දැක ඇති අතර මෙම තත්ත්වයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ සම්පූර්ණ අයිතිය තමා සතු බව ද පවසා ඇත.
ඕනෑම තර්ජනයකට මුහුණ දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පූර්ණ සූදානමකින් පසුවන බවත්, රටේ ආරක්ෂාව අස්ථාවර කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැඩිදුරටත් සඳහන් කර සිටී.
