විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අනතුරුදායකයි - ජී.එල්. පීරිස්
July 13, 2026 10:41 pm
මෙරට උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යයන වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.
හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු මෙන්ම නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජී.එල්. පීරිස් මහතාද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක් නිකුත් කර තිබේ.
එමගින් ඔහු පෙන්වාදෙන්නේ ජීවිත අපේක්ෂාව ඉහළ යාම හා විනිසුරුවරුන්ගේ දැනුම බෙදාගැනීම වැනි එම පියවර සාධාරණීකරණය කිරීම සඳහා රජය ඉදිරිපත් කරන කරුණු පිළිගැනීමට අපහසු බවයි.
එමෙන්ම මෙවැනි සංශෝධනයක් සිදුකළ යුත්තේ අතීතයට බලපාන අයුරින් නොව අනාගතයට බලපාන ආකාරයෙන් බවද මහාචාර්යවරයා සඳහන් කර තිබේ.
මේ වසරේ මුල් භාගය තුළ ශ්‍රේ ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු විශ්‍රාම ගිය බවත් සංශෝධනය වසර මුලදී ඉදිරිපත් කළේනම් ඔවුන්ටද එමගින් ප්‍රතිලාභ හිමිවන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙන තවත් කරුණකි.
එබැවින් එය විනිසුරුවරුන් කොටසකට පමණක් ලබාදෙන මුදල් පරිත්‍යාගයක් වැනි කරුණක් බවත් ඔහු පවසා තිබේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි පොරොන්දු ලබා දී බලයට පැමිණි ජාතික ජනබලවේග ආණ්ඩුව මැතිවරණ ක්‍රමයේ සංශෝධන වැනි ප්‍රමුඛ කාර්යයන් රැසක් තිබියදී නීතියට මැදිහත් වීමේ මෙවැනි ක්‍රියාවලියකට ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදීම පිළිබඳවද මහාචාර්යවරයා ප්‍රශ්නකර සිටියි.
ඒ අනුව රජයේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බවත් එමඟින් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසය පළුදුවන බවත් මහාචාර්යය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වාදෙනවා.
මේ අතර, විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බව අධිකරණ සේවා සංගමයද ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
මෙරට උපරිමාධිකරණ වන අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සූදානම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
එවන් පසුබිමක මහෙස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව ඉකුත් සෙනසුරාදා රැස්වීමක් පවත්වා තිබුණේ මෙම විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සඳහායි.
එහිදී පැවැත්වූ රහස් ඡන්දයේදී විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එකඟ නොවීමට ඒකමතිකව තීරණය වූ බව අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයා වෙත ඊයේ (12) ලිඛිතව දැනුම්දී තිබේ.
අධිකරණ සේවා සංගමයේ වැඩබලන සභාපති, මහනුවර මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක හා එහි ලේකම් නුගේගොඩ අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතු එම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරිය, කතානායකවරයා, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය සහ අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා වෙත ද යොමුකර තිබුණි.
