අයිස් ජාවාරමෙන් කෝටි ගණනක් ඉපැයූ පුද්ගලයෙක් වලපනේ දී අත්අඩංගුවට

අයිස් ජාවාරමෙන් කෝටි ගණනක් ඉපැයූ පුද්ගලයෙක් වලපනේ දී අත්අඩංගුවට

July 13, 2026   09:04 pm

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 24,900,000ට අධික මුදලක් මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් සංසරණය කිරීමේ සිද්ධියකට අදාළව, ක්ෂණික මුදල් හුවමාරු කිරීමේ ක්‍රම ජාලය මෙහෙයවූ 24 හැවිරිදි ප්‍රධාන සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

වලපනේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ඊයේ (12) දින අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (13) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජූලි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ 2025 දෙසැම්බර් 27 වන දින අයිස්  මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලිනි.

එහිදී මත්ද්‍රව්‍ය මුදල් හුවමාරු කළ හංවැල්ල ප්‍රදේශයේ බැංකු ගිණුමක් සොයාගත් අතර, එම ගිණුම හරහා පමණක් රුපියල් 4,911,100ක මුදලක් සංසරණය වී ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

එම බැංකු ගිණුම් විමර්ශනවලට අදාළව මීට පෙර අවස්ථාවලදී කහහේන, දොඩංගොඩ සහ කළුඅග්ගල යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැනට ඇප මත මුදාහැර සිටියි.

ඇප මත සිටින සැකකරුවන්ගෙන් තවදුරටත් අනාවරණය කරගත් තොරතුරු මත, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 24,921,537ක (දෙකෝටි හතළිස් නව ලක්ෂ විසිඑක්දහස් පන්සිය තිස්හතක) දැවැන්ත මුදලක් එක්තරා දුරකථන සිම්පතක් වෙත ක්ෂණික මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයට බැර වී ඇති බව හෙළි වී ඇත.

එම දුරකථන අංකයේ ලියාපදිංචි හිමිකරු සොයා සිදුකළ මෙහෙයුමකදී වලපනේ ප්‍රදේශයේදී මෙම 24 හැවිරිදි සැකකරු කොටුකර ගැනීමට පොලීසිය සමත්ව ඇත.

පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, දැනට විදේශගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ මෙම සැකකරු සෘජුවම සමීප සබඳතා පවත්වමින් ලංකාව තුළ මත්ද්‍රව්‍ය මුදල් විශුද්ධිකරණ ජාලය මෙහෙයවා ඇති බවය.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මෙම ජාලයට සම්බන්ධ සෙසු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.