කටාර් හිටපු එමීර්ගේ අභාවයට ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
July 12, 2026 09:41 pm
නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘවරයා මෙන්ම එරට හිටපු එමීර්වරයා ද වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
සිය 'X' ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, අභාවප්‍රාප්ත ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා කටාර් රාජ්‍යය වෙනුවෙන් දැක්වූ දූරදර්ශී නායකත්වය සහ ඉටුකළ සේවය ගෞරවයෙන් සිහිපත් කරන බවය.
ශ්‍රී ලංකා රජය සහ සමස්ත ලාංකික ජනතාව වෙනුවෙන්, කටාර් රාජ්‍යයේ වත්මන් එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතා වෙතත්, රාජකීය පවුලේ සාමාජිකයන් සහ කටාර් වැසියන් වෙතත් ජනාධිපතිවරයා මෙමගින් ශෝකය ප්‍රකාශ කර ඇත.
කටාර් රාජ්‍යයේ පරිවර්ථනීය වෙනසක් කළ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා අද (12) අභාවප්‍රාප්ත විය.
ඔහුගේ අභාවය නිමිත්තෙන් කටාර් රාජ්‍යයේ උත්තරීතර රාජ්‍ය ආයතනය වන 'අමිරි දිවාන්' විසින් එරට තුළ සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
