කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
July 12, 2026 11:41 am
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 74 වන වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහු 2012 වසරේදී මෙරට සංචාරයක නිරත වූයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙනි.
එය කටාර් රාජ්‍ය නායකයෙකු මෙරට සිදුකළ ඉතිහාසයේ පළමු රාජ්‍ය සංචාරය ද විය.
මිත්‍රශීලී මෙන්ම ආකර්ශනීය පෞරුෂයකින් හෙබි ''Father Emir'' ලෙස සැලකෙන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි 1995 වසරේදී එරට බලයට පත් විය.
නවීන කටාර් රාජ්‍යයේ නිර්මාණකරු ලෙස සැලකෙන ඔහු, එරට සංවර්ධන, ප්‍රතිසංස්කරණ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සිදු කිරීමට පියවර ගත්තේය.
ඔහුගේ පාලන කාලය තුළ කටාර් රාජ්‍යයේ දළ දේශීය නිෂ්පාදිතය 24 ගුණයකට වඩා වැඩි කිරිමට සමත් වූ අතර, 2006 වන විට ස්වාභාවික වායු අපනයනය කරන ලොව විශාලතම රට බවට පත් කිරීමට ද ඔහු සමත් විය.
ඉන් වසර හතරකට පසු කටාර්හි වාර්ෂික LNG නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියන 77 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව එරට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ.
ඔහුගේ පාලන සමය තුළ 'කටාර් පදනම' පිහිටුවීම, 1996 දී ලොව ප්‍රමුඛතම 'අල් ජසීරා' (Al Jazeera) පුවත් නාලිකාව ආරම්භ කිරීම, 2004 දී කටාර්හි ප්‍රථම ස්ථිර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීම සහ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙන්ම අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට අයිතිය ලබා දෙමින් පළාත් පාලන මැතිවරණ හඳුන්වා දීම වැනි සුවිශේෂී ප්රගතිශීලී ප්‍රතිසංස්කරණ රැසක් සිදු විය.
එසේම ඔහුගේ නායකත්වය යටතේ 'කටාර් ජාතික දැක්ම 2030' (Qatar National Vision 2030) ප්‍රතිපත්තිය දියත් කළ අතර, 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමේ සත්කාරක අයිතිය දිනා ගැනීමටද කටාර් රාජ්‍යය සමත් විය.
1952 ජනවාරි මාසයේදී දෝහා නුවර උපත ලැබූ ෂෙයික් හමාඩ්, බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy Sandhurst) උපාධිය ලබා පසුව කටාර් සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරියා බවට පත්විය.
1977 දී ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වූ ඔහු, 1995 ජූනි 27 දින එමීර්වරයා ලෙස බලයට පත් විය.
පසුව 2013 ජූනි 25 දින ඔහු එම ධුරය සිය කැමැත්තෙන්ම සිය පුත් ෂීක් තමීම් බින් හමාඩ් අල් තානි (Sheikh Tamim bin Hamad Al Thani) වෙත පවරන ලදී.
සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් සහ එවකට 33 හැවිරිදි වියේ පසුවූ සිය පුත්‍රයා වෙත බලය හුවමාරු කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ෂෙයික් හමාඩ් "මේ මාතෘභූමියේ දරුවනි, අනාගතය රැඳී තිබෙන්නේ ඔබ ඉදිරියෙහිය. තරුණ නායකත්වයක් පෙරටු කරගනිමින් ඔබ මේ පිවිසෙන්නේ නව යුගයකටයි." ලෙස පවසා ඇත.
