සත්ත්ව කොටස්වලින් ආභරණ සැකසු ව්‍යාපාරිකයාට ලක්ෂ 21ක දඩයක්
July 9, 2026 04:15 pm
වන සතුන්ගේ ශරීර කොටස් යොදා ගනිමින් ආභරණ සකසා දෙස් විදෙස් සංචාරකයින්ට අලෙවි කිරීමේ රන් භාණ්ඩ අලෙවිසැළක් පවත්වාගෙන ගිය අයෙකුට රුපියල් ලක්ෂ 21ක දඩ මුදලක් නියම කර තිබේ.
පොල්ගස්ඕවිට කහතුඩුව පදිංචි ව්‍යාපාරිකයෙකුට ඊයේ (08) රුවන්වැල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග ලබා දී තිබේ.
ඔහු විසින් පවත්වාගෙන යනු ලබන රන් ආභරණ අලෙවිකිරීමේ ආයතනය තුළ සත්ත්ව කෙදි හා ශරීර කොටස් යොදා ගනිමින් සුර, මුදු ඇතුළු දෑ සකසා අලෙවි කිරීමේ යෙදි සිටියදී බුලත්කොහුපිටිය බීට්ටු වනජීවි නිළධාරීන් හා කුරුණෑගල වනජීවි සහකාර අධ්යක්ෂ කාර්යාලයේ නිළධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබුණි.
මෙම වැටලීම පසුගිය ජූනි 24 දින සිදුකර තිබු අතර වනජීවි නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු රුවන්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත ඊයේ දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබුණි.
වනජීවි නිළධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම සැකකරු වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝණය කරමින් වන සතුන්ගේ ශරීර කොටස් මෙලෙස මුදු හා මාල ඇතුළු දෑ සඳහා භාවිතා කර තිබු බවයි.
එසෙල භාවිතා කල දෑ අතර බැලැක් කොරල්, කොටි දත්, අලි කෙදි, ඇත් දළ, විශේෂීත මුහුදු බෙල්ලන්, අලි හක්ක ඇතුළු දෑ මාල, මුදු ඇතුළු දෑ සකසමින් අපල සඳහා මෙම ආභරණ පැලදිමේන් ඒවා දුරුවෙන බව පවසමින් වංචනික ලෙස කටයුතු කර ඇති බව පවසන්නට විය.
ඒ අනුව, මෙලෙස අධිකරණයේ පෙනි සිටි සැකකරුට වරදකරු ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙලෙස රුපියල් ලක්ෂ 21ක දඩ මුදලක් නියෝග කර තිබේ.
අදාල දඩ මුදල් වාරික තුනකින් ගෙවීමට නියෝග කල මහෙස්ත්‍රාත්වරයා පලමු වාරියකය වන ලක්ෂ හතක මුදල අගෝස්තු 8 දින ගෙවා නිම කරන ලෙස ද දන්වා තිබේ.
