දින 16කට ගුවන් ගමන් 27ක් - FIFA සභාපති පෞද්ගලික ජෙට් යානයෙන් ගිය දුර

දින 16කට ගුවන් ගමන් 27ක් - FIFA සභාපති පෞද්ගලික ජෙට් යානයෙන් ගිය දුර

June 28, 2026   07:21 pm

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු සති දෙකක කාලය තුළ පමණක් තරග 24කට සහභාගි වීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පෞද්ගලික ජෙට් යානයකින් සැතපුම් දහස් ගණනක් පියාසර කර ඇතැයි විදෙස් පුවත් අනාවරණය කරයි.

රටවල් තුනක, සත්කාරක නගර 16ක පැවැත්වෙන මෙම දැවැන්ත තරගාවලියේදී ෆිෆා සභාපතිවරයා පරිසරය සුරැකීම පිළිබඳව විවිධ ප්‍රතිඥා දී තිබුණ ද, ඔහුගේ මෙම අධික පෞද්ගලික ජෙට් යානා භාවිතය දැඩි විවේචනයට ලක්ව තිබේ. 

සිදුකළ ගුවන් යානා විශ්ලේෂණ දත්ත (Plane-tracking data) අනුව, සභාපතිවරයා භාවිත කළ Gulfstream G650ER වර්ගයේ පෞද්ගලික ජෙට් යානය දින 16ක් තුළ ගුවන් ගමන් 27ක් සිදු කර ඇත.

මෙම සති දෙකක කාලය තුළ එම ජෙට් යානයෙන් නිකුත් වූ කාබන් විමෝචනය සාමාන්‍ය මිනිසුන් 78 දෙනෙකු වසරක් පුරා සිදු කරන සමස්ත පරිසර දූෂණයට සමාන බව ගණන් බලා තිබේ.

කණ්ඩායම් වටයේ තරග පැවැති කාලය තුළ ඉන්ෆැන්ටිනෝ ඇතැම් දිනවලදී එකිනෙකට සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි නගරවල පැවැති තරග දෙක බැගින් නැරඹීමට ගොස් ඇත. සමහර දිනවල ඔහු වෙනස් ගුවන් ගමන් තුනක් පවා සිදු කර තිබේ.

ඔහු ගිය දිගුම ගුවන් ගමන සටහන් වූයේ ජුනි 13 වෙනිදා වැන්කුවර් සිට මියාමි දක්වා වූ සැතපුම් 2,800ක  සංචාරයයි.

එමෙන්ම ජුනි 22 දින ඔහු ෆිලඩෙල්ෆියා සිට නිව් ජර්සි දක්වා සැතපුම් 92ක ඉතා කෙටි ගුවන් ගමනක් ද සිදු කර ඇත. ඔහුගේ කාර්යබහුලම දිනය වූ ජුනි 15 වෙනදා ඔහු මියාමි සිට සීඇටල් දක්වා සැතපුම් 2,700ක් පියාසර කර, පසුව එදිනම සවස තරගයක් නැරඹීම සඳහා ලොස් ඇන්ජලීස් දක්වා තවත් සැතපුම් 960ක් පියාසර කර තිබේ.

දත්ත විශ්ලේෂණයට අනුව, තරගාවලිය ආරම්භයේ සිට ජුනි 27 දක්වා කාලය තුළ මෙම පෞද්ගලික ජෙට් යානය සැතපුම් 31,144ක් ගමන් කර ඇති අතර පැය 66කට වඩා වැඩි කාලයක් ගුවනේ රැඳී සිට ඇත.

පෞද්ගලික ජෙට් යානා මඟින් ගමන් කිරීම ලොව පවතින ඉහළම කාබන් විමෝචනයක් (Carbon-intensive) සිදු කරන ප්‍රවාහන ක්‍රමය වන අතර, එය ගෝලීය උණුසුම ඉහළ යාමට සහ දේශගුණික විපර්යාසයන්ට ඍජුවම බලපායි.

ෆිෆා සභාපතිවරයා ගමන් ගත් Gulfstream G650ER යානය පැයකට ඉන්ධන ලීටර් 1,817ක් පමණ දහනය කරයි. ඒ අනුව, පළමු සති දෙකේ ඔහුගේ ගමන් නිසා පමණක් වායුගෝලයට එකතු වී ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 516ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. යුරෝපා සංගමයේ දත්තවලට අනුව ලෝකයේ සාමාන්‍ය පුද්ගලයකු වසරකට නිකුත් කරන්නේ කාබන් ටොන් 6.56ක් පමණි.

පරිසරවේදීන් පවසන්නේ පෞද්ගලික ජෙට් යානා සාමාන්‍ය මගී ගුවන් යානාවලට වඩා 5 සිට 14 ගුණයකින් ද, දුම්රියට වඩා 50 ගුණයකින් ද පරිසරය දූෂණය කරන බවයි. ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිසර ක්‍රියාකාරිකයෙකු වන ෆ්‍රෙඩී ඩේලි (Freddie Daley) ප්‍රකාශ කළේ, "ෆිෆා සභාපතිවරයා පෞද්ගලික ජෙට් යානයක් තෝරා ගැනීම, පරිසර ගැටලු සම්බන්ධයෙන් ෆිෆා ආයතනයේ පවතින දුර්වල නායකත්වය මනාව පෙන්නුම් කරනවා" යනුවෙනි.

ෆිෆා ආයතනය ප්‍රකාශ කර තිබුණේ 2030 වන විට සිය කාබන් විමෝචනය 50%කින් අඩු කරන බවත්, 2040 වන විට එය ශුන්‍ය (Net-zero) කරන බවත්ය. මෙවර ලෝක කුසලානයේදී ද ගුවන් ගමන් අවම කිරීම සඳහා කණ්ඩායම් ප්‍රාදේශීය මට්ටමින් රඳවා තැබීමට සහ පොදු ප්‍රවාහනය දියුණු කිරීමට පොරොන්දු වී තිබුණි.

කෙසේ වෙතත්, දේශගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙවර ලෝක කුසලානයේ සමස්ත කාබන් ප්‍රමාණය (Carbon footprint) කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 9ක් දක්වා ඉහළ යා හැකි බවය. මෙය ඉතිහාසයේ පැවැති වඩාත්ම පරිසරය දූෂණය කරන ලෝක කුසලානය බවට පත්වනු ඇත.

මීට පෙර 2022 කටාර් ලෝක කුසලානය "කාබන්-උදාසීන" (Carbon-neutral) එකක් බවට ෆිෆා ආයතනය කළ ප්‍රකාශය ද මුසාවක් බව 2023 වසරේදී ස්විට්සර්ලන්ත නියාමන ආයතනයක් විසින් තීන්දු කර තිබුණි.

 කටාර්හිදී ක්‍රීඩාංගණ 8ම ඉතා ආසන්නයෙන් පිහිටා තිබූ බැවින් සභාපතිවරයාට තරග 64ටම වාහනයකින් යාමට හැකි වුවද, මුළු මහත් මහාද්වීපයක් පුරා පැතිරුණු මෙවර ලෝක කුසලානයේදී ෆිෆා සභාපතිවරයාගේ පෞද්ගලික ජෙට් යානා සංදර්ශනය එරට පරිසර ප්‍රතිපත්තිවල නිරුවත හෙළි කර ඇති බව විචාරකයෝ පවසති.