මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සාක්ෂි කැඳවීම වළක්වාලමින් අතුරු තහනමක්

June 3, 2026   07:30 am

කොළඹ මහාධිකරණ හමුවේ විභාග වන නඩුවක සාක්ෂි දීම සඳහා අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය මත ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

'අද දෙරණ' අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, ජනාධිපති නීතිඥවරු දෙදෙනෙකු වන උදිත ඉගලහේවා, ෆර්මාන් කාසීම් සහ නීතිඥ සුගත් කල්දේරා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සම මඟින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා වෙත කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇති බවය.

සහන් මාපා බණ්ඩාර මහතා නුගේගොඩ දිසා විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නිකුත් කළ නියෝගයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස සාක්ෂියට කැඳවීමට පැමිණිල්ල තීරණය කර ඇති බව පෙත්සමේ සඳහන් වේ. 

විනිසුරුවරයෙකු ඉටුකළ නිල රාජකාරියක් සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහු සාක්ෂියට කැඳවීම අනුමත කළ නොහැකි බැවින් එය අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම නීතියේ ආධිපත්‍යයටද අහිතකර බලපෑමක් එල්ල කරන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි. 

ඒ අනුව අදාළ විනිසුරුවරයා සාක්ෂියට කැඳවීම සඳහා නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සහ  මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු එම සිතාසිය මත ඉදිරි කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ. 

මෙම පෙත්සම යළි ජුනි මස 12 වනදා කැඳවීමට නියමිතය.