ස්වභාවික ආපදා පාලනයට පවතින නීති බලාත්මක කරන්නැයි ඉල්ලා පෙත්සමක්
May 27, 2026 03:13 pm
ස්වභාවික ආපදා සහ ව්‍යසන කළමනාකරණ කටයුතු පාලනය කිරීම සඳහා පවතින නීති ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කර තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින කෘෂිකර්ම අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා නියෝග කර තිබේ.
පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ස්වභාවික ආපදා සහ ව්‍යසන කළමනාකරණ කටයුතු පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ අණ පනත් 20කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව පවසා තිබේ.
එහෙත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යසන තත්ත්වයන් උද්ගතවී තිබෙන අතර ඒවා පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කර ඇත.
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාවක් මගින් ද ආපදා කළමනාකරණයට සම්බන්ධ නීති රීති නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බරපතළ හානි සිදුවන බව පෙන්වාදී ඇති බවත් නීතිඥවරයා පවසා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් පෙත්සම යළි ජූලි මස 07 වනදා කැඳවන ලෙස නියම කර ඇත.
මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ ගංවතුර ආපදා ඇතුළු ස්වභාවික ව්‍යසන අවම කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.
