රණවිරු ස්මාරකය අසල ඇතිවූ සිද්ධියට ප්‍රකාශයක් දෙන්න විමල්ට කැඳවීමක්

රණවිරු ස්මාරකය අසල ඇතිවූ සිද්ධියට ප්‍රකාශයක් දෙන්න විමල්ට කැඳවීමක්

May 23, 2026   07:24 pm

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාට පොලිසියෙන් කැඳවීමක් ලැබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් කියා සිටියේ, ඒ සඳහා තමන් එළැඹෙන සඳුදා තලංගම පොලිසිය වෙත යන බවය.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවට වත්මන් ආණ්ඩුවේ පිරිස් ප්‍රකාශ කළද, එය වචනයට පමණක් සීමා වී ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ මහතා,

"සියලු රට වැසියන්ට තියෙන අයිතිය අනුව රණවිරු ස්මාරකයට මල් තියලා, වීරෝදාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය පුද කරන්න ගියා. ඒකට බාධා කරා. බාධා කරලා දැන් අපිට කියනවා ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කියලා. අපි සඳුදා උදේ යනවා තලංගම පොලිසියට අපේ ප්‍රකාශය දෙන්න. 

ජනාධිපතිවරයා කියනවනේ නීතිය කාටත් එක හා සමානයි කියලා. හැබැයි අධිකරණ අමාත්‍යංශයට අයිති මල්වානේ මන්දිරය අත්පත් කරගත්ත කට්ටියට නීතිය ක්‍රියාත්මක වුනේ නෑ. 

අපි ගියේ මොකක් හරි අත්පත් කරගන්න නෙවෙයි. අපි ගියේ මහජනයාට විවෘත පොදු ස්ථානයකට. ඒ ස්මාරකය හැදුවේ මහජනයාට ඒ වැඩේ කරන්න. ඊට කලින් අවුරුද්දෙත් අපි ගියා. 

අපට නීතිය එක විදිහක්. අන්තරේ පැටව් ටික මල්වානේ මන්දිරය අත්පත් කරගන්නකොට නීතිය ගොළුයි, නීතිය අකර්මන්‍යයි, නීතිය ගරහිතයි" යනුවෙන් පැවසීය.