උණ රෝගයක් පැතිර යන අඟුණකොළ බන්ධනාගාරයේ රැඳවියෙකු මියයයි

උණ රෝගයක් පැතිර යන අඟුණකොළ බන්ධනාගාරයේ රැඳවියෙකු මියයයි

May 22, 2026   04:26 pm

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස් මත එම රැඳවියා අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (21) දිනයේදී මියගොස් ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ රැඳවියා 45 හැවිරිදි පුද්ගලයෙකු බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් අදාළ රැඳවියාගේ මරණයට හේතුව මේ වනතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රැඳවියන් සිටින එක් වාට්ටුවක උණ රෝගයක් පැතිරයමින් පවතින බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා අද දෙරණ සමග සඳහන් කළේය.

උණ රෝගය වැළඳුණු රැඳවියන් 8 දෙනෙකු මූලික ප්‍රතිකාර සඳහා අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු නේවාසික ප්‍රතිකාර සඳහා මේ වනවිට හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේවෙතත් මිය ගිය රැඳවියාගේ මරණයට හේතුව උණ රෝගයද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.