ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්
May 14, 2026 06:12 pm
2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම කර තිබේ.
ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල, එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බව නඩු තීන්දුවේ දැක්වේ.
5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බව චෝදනා කරමින් වග උත්තරකාර ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
