ඉන්දීය රාජකීයයන් සතු වූ 17 වන සියවසේ 'සුපිරි පරිගණකය' වෙන්දේසියට
April 26, 2026 05:28 pm
17 වන සියවසේ ඉන්දියාවේ ජායිපූර් රාජකීය එකතුවට අයත් වූ, අතේ රැගෙන යා හැකි තාරකා විද්‍යාත්මක පරිගණකයක් ලෙස සැලකෙන සුවිශේෂී ඇස්ට්‍රොලේබ් (Astrolabe) උපකරණයක් ලන්ඩනයේ Sotheby's වෙන්දේසි ආයතනයේදී එළැඹෙන 29 වන දින වෙන්දේසි කිරීමට නියමිතය.
පිත්තලෙන් නිමවා ඇති මෙම උපකරණය ලොව දැනට පවතින විශාලතම ඇස්ට්‍රොලේබ් උපකරණය විය හැකි බවත්, එය මීට පෙර කිසි දිනක ප්‍රදර්ශනය කර නොමැති බවත් Sotheby's ආයතනයේ ඉස්ලාමීය සහ ඉන්දියානු කලා අංශයේ ප්‍රධානී බෙනඩික්ට් කාටර් පවසයි.
මෙම උපකරණය ජායිපූර්හි දෙවන මහරාජා සවායි මාන්සිං සතු වූ අතර, ඔහුගේ අභාවයෙන් පසු එය එවකට ලොව වඩාත් ආකර්ෂණීය කාන්තාවක ලෙස සැලකුණු ඔහුගේ බිරිඳ වූ මහාරාණි ගයාත්‍රි දේවි වෙත හිමිව ඇති බව සඳහන් වේ.
පසුව ඇයගේ ජීවිත කාලය තුළදී මෙය පෞද්ගලික එකතු කරන්නෙකු අතට පත්ව ඇත.
ඇස්ට්‍රොලේබ් යනු කුමක්ද?
ඇස්ට්‍රොලේබ් යනු කාලය මැනීමට, තාරකා සිතියම් ගත කිරීමට, දිශාව සෙවීමට සහ අහසේ චලනයන් නිරීක්ෂණය කිරීමට අතීතයේ භාවිතා කරන ලද ලෝහමය තැටි කිහිපයකින් සමන්විත උපකරණයකි.
ඔක්ස්ෆර්ඩ් විද්‍යා ඉතිහාස මධ්‍යස්ථානයේ ආචාර්ය ෆෙඩ්රිකා ගිගාන්ටේ පවසන්නේ මෙය නූතන ස්මාර්ට් ජංගම දුරකතනයකට සමාන කළ හැකි බවය.
මෙමගින්,
- හිරු උදාව සහ බැසීම ගණනය කිරීම.
- ගොඩනැගිල්ලක උස හෝ ළිඳක ගැඹුර මැනීම.
- කේන්දර බැලීම සහ අනාවැකි කීම වැනි කාර්යයන් සිදුකළ හැකිය.
නිෂ්පාදනය සහ ශිල්පීය දක්ෂතාව
මෙම සුවිශේෂී උපකරණය 17 වන සියවසේ මුල් භාගයේදී, පකිස්තානයේ ලාහෝර් නුවරදී කායිම් මුහම්මද් සහ මුහම්මද් මුකිම් යන සහෝදරයන් දෙදෙනා විසින් නිමවා ඇත. එවකට ලාහෝර් නගරය මෙවැනි උපකරණ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් විය.
මෙම සහෝදරයන් දෙදෙනා එක්ව නිමවූ බවට හඳුනාගෙන ඇති ඉතිරිව පවතින එකම අනෙක් උපකරණය ඉරාකයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇත.
සුවිශේෂී ලක්ෂණ
මෙහි බර කිලෝග්‍රෑම් 8.2ක් වන අතර උස සෙන්ටිමීටර 46කි. මෙය සාමාන්‍ය ඇස්ට්‍රොලේබ් උපකරණයකට වඩා හතර ගුණයක් පමණ විශාලය.
මෙහි තාරකා දර්ශක පර්සියානු භාෂාවෙන් මෙන්ම දේවනාරී අක්ෂරයෙන් (සංස්කෘත භාෂාවෙන්) ද සලකුණු කර ඇත.
නගර 94ක දේශාංශ සහ අක්ෂාංශ මෙහි ඇතුළත් කර ඇති අතර, එහි මිනුම් අංශකයකින් තුනෙන් පංගුවක් තරම් ඉතා සියුම් ලෙස සලකුණු කර ඇත.
වෙන්දේසි වටිනාකම
සොතබිස් ආයතනය ඇස්තමේන්තු කර ඇති පරිදි මෙය පවුම් මිලියන 1.5ත් 2.5ත් (රුපියල් කෝටි 55-90 පමණ) අතර මිලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට පෙර ඔටෝමාන් අධිරාජ්‍යයට අයත් ඇස්ට්‍රොලේබ් උපකරණයක් 2014 වසරේදී පවුම් මිලියනයකට ආසන්න මුදලකට අලෙවි වී තිබුණි.



