මාරක අනතුරු කිහිපයක් - තිදෙනෙකුට දිවි අහිමි වෙයි
February 10, 2026 08:31 am
ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කරෙයිනගර් මාදගල් මාර්ගයේ පොන්නාලේ කෝවිල ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
පොන්නාලෙයි හංදිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා කරෙයිනගර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ වික්කාවිල්, කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වඩුක්කෝට්ටේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ 17 හන්දිය ප්‍රදේශයේදී, අනුරාධපුර දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වී පටවාගත් ටේරලයක් අමුණාගත් අත්ට්‍රැක්ටරයක මුහුණට මුහුණ ගැටීමෙන් ද මාරක අනතුරක් සිදුව ඇත.
අනතුරින් අත්ට්‍රැක්ටර් රථයේ රියැදුරු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මරණකරු අවුරුදු 61ක් වූ අළුත්ගම, ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අවුරුදු 41ක් වන කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
දඹුල්ල හබරණ මාර්ගයේ සිදු වූ අනතුරකින් ද 19 හැවිරිදි අයෙක් මියගොස් තිබේ.
දිගම්පතන ප්‍රදේශයේදී හබරණ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු හා වෑන් රථයේ රියැදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදියේ පැදිකරු මෙලෙස මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
