දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගත යුතුයි - හරිනි අමරසූරිය
January 18, 2026 11:58 am
දේශපාලන හෝ පෞද්ගලික සාධක මුල් කරගත් තීරණ ගැනීමෙන් වැළකී, සමස්ත දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගැනීමට පුරුදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (17) පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ නිරීක්ෂණයට එක්වෙමිනි.
එහිදී පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද පාසලේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය.
පාසලේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඉදිරිපත් කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, විද්‍යා විෂය පමණක් නොව අනෙකුත් සෑම විෂයක් සම්බන්ධයෙන්ම දරුවන්ට දැනුම ලබා දිය යුතු බවය.
ඒ සඳහා දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත්, බෙදීම් ඇති සමාජයක් ගොඩනැගීම රජයේ දර්ශනය නොවන බවත් ඇය අවධාරණය කළාය.
තවද, දරුවන් වෙනුවෙන් හොඳම දේ කළ යුතු බවත්, ඒ සඳහා ගත යුතු තීරණ සම්බන්ධ යෝජනා පාසල් මට්ටමින් සාමූහිකව සාකච්ඡා කර තමන් වෙත දන්වන ලෙසට හරිනි අමසූරිය මෙනෙවිය ඉල්ලා සිටියාය.
පාසල් වශයෙන් බෙදී වෙන් වී දරුවන්ට සුවපහසු අධ්‍යාපනයක් ලබා දිය නොහැකි බවත්, සැමවිටම දරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත් වැඩිදුරටත් පැවසුවාය.
"අතීතයේ ගනු ලැබූ වැරදි තීන්දු තීරණවල ප්‍රතිවිපාක අප දැන් භුක්ති විඳිනවා. නමුත් අපට දැන් යහපත් වර්තමානයක් තිබෙනවා. එබැවින් මින් ඉදිරියට දේශපාලන හෝ පෞද්ගලික සාධක මුල් කරගත් තීරණ ගැනීමෙන් වැළකී, සමස්ත දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගැනීමට අප පුරුදු විය යුතුයි."
