දේශබන්දු සැඟව සිටි කාලයේ භාවිත කළ දුරකථනය ගැන විමර්ශන
March 20, 2025 09:01 pm
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (20) නියෝග කළේය.
ඒ අනුව සැකකරු ආරක්ෂක හේතූන් මත දුම්බර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
2023 දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගමදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවය අත්හිටුවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
ඒ අනුව සැකකාර තෙන්නකෝන් මහතාව අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස බන්ධනාගාරගත කෙරුණි.
දෑත්වලට මාංචු සහිතව අධිකරණ ශාලාවට රැගෙනවිත් තිබූ දේශබන්දු තෙන්නකෝන් මහතාව වෙනත් සිරකරුවන් රඳවා නොමැති අධිකරණ සිරමැදිරියක රඳවා තිබුණි.
එහිදී අනතුරුව මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා පිටු 12කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා වන්නේ,
"මාතර W15 හෝටලයට ගිනි අවියකින් වෙඩිතබා අනර්ථයක් සිදුකිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පොලිස් නිලධාරින් 08ක් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස යොදා ගැනීමෙන් දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදක් සිදු කිරීම."
"රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික අභිමතාර්ථයක් ලෙස සාපරාධී බියගැන්වීම සඳහා පොලිස් නිලධාරින් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කිරීම සහ බොරු සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා 09ක්."
"මෙම නඩුකරයට අදාළව තීරණාත්මක විමර්ශන ක්‍රියාවලියක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බැවින් ද සැකකරු අධිකරණ නියෝගය පැහැර හැරීම තුළ විමර්ශන පියවර සම්පූර්ණ කිරීමට පැමිණිල්ලට හැකියාව ලැබී නොමැති බැවින් ද සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද ඇප අයැදීම ප්‍රතික්ෂේප කරනවා."
මෙහිදී ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන්ද නියෝග කිහිපයක් නිකුත් කෙරුණි.
මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා,
"මෙම සැකකරු බන්ධනාගාරගත කර සිටියදී සහ ප්‍රවාහනය කිරීමේදී ආරක්ෂාවක් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස මාතර බන්ධනාගාර අධිකාරිවරයාට මා නියෝග කරනවා."
"සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතුයි."
"සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු නෛතික පියවර ගැනීමට අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි."
මහෙස්ත්‍රාත්වරයාගේ එම නියෝග ලබාදීම අවසානයේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ද අධිකරණයෙන් නියෝග කිහිපයක් ඉල්ලා සිටියේය.
"ස්වාමිනි, සැකකාර දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට විමර්ශන නිලධාරින්ට අවසර ඉල්ලා සිටිනවා."
"සැකකරුගේ නිවසේ තිබී හමුවූ දුරකථන 02ත්, ඔහු සැඟව සිටී දින 20 තුළ භාවිත කළ දුරකථනයත් විමර්ශන සඳහා එම නිලධාරින්ට භාරදීමට නියෝග කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."
ඉල්ලීම් සඳහා මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදුන් අතර ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යළි අධිකරණය හමුවේ කෙටි දේශනයක් සිදු කළේය.
"ස්වාමිනි, මෙතනින් එහාට අපරාධ කරලා බලය පෙන්වලා සැඟව සිටින්නන් ප්‍රවේශම් වියයුතුයි."
"ස්වාමිනි, මෙම නඩුවට මම සම්බන්ධ වුණේ මේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් පමණයි. මම ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා... මෙම නඩුවට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන්න කියලා. නැතිනම් හැමදාම වෙන්නේ මෙවැනි නඩුවලට කල්මරලා යුක්තිය අපගමනය වීම. සමහරු බලාගෙන ඉන්නවා... කල්මරලා යුක්තිය අපගමනය වනතුරු. මේ නඩුවේ අනිත් සැකකරුවන් 06 දෙනා මෝසමක් මගින් හෙට අධිකරණයට භාරවෙනවා කියලා දැනුම් දී තිබෙනවා. එවිට මේ සිද්ධියට අදාළව ඔබතුමා නම්කළ සැකකරුවන් සම්පූර්ණ වෙනවා. නමුත් මම මේ මොහොතේ යම් දෙයක් කියන්න කැමතියි. මේ ප්‍රධාන සැකකරු වන දේශබන්දු නැමැත්තාට උඩින් යම් දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් ඉන්නවා නම් ඒ පිළිබඳ විමර්ශන කරලා වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. එවිටයි යුක්තිය ඉටුවන්නේ. අද අධිකරණ ශාලාවට රොක්වෙලා ඉන්න ASPලා, DIGලා වගේ නිලධාරීන්ට මම කියන්න කැමතියි මීඩියා ඉදිරියේ පෙනී සිටින්න වැඩ නොකර යුක්තිය වෙනුවෙන් වැඩ කරන්න කියලා."