
අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී මියගිය "දීඝදන්තු 1" හස්තියාගේ අවසන් කටයුතු අද (29) උදෑසන සිදුකළේය.
මේ අතර හස්තියාට විදුලිසැර වැදුණු විදුලි රැහැන ඇදතිබූ නිවසෙහි හිමිකරු එළැඹෙන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගනිමින් ජීවත්වූ කලාවැව ඇත් පරපුරේ අවසන් හස්තියා වූ දීඝදන්තු 1 ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට ආභරණයක් විය.
කලාවැව රක්ෂිතයේ සැරිසැරූ විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා වූ දීඝදන්තු 1 හස්තියා කලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කරගනිමින් වාසය කළේය.
විදෙස් සංචාරකයින් මෙම ප්‍රදේශයට වැඩි වශයෙන් පැමිණියේ ද මෙම හැඩකාර හස්තියා සියැසින් දැක ගැනීමේ ආශාවෙනි.



















































