මැතිවරණ කොමිසමේ තීරණයට අපි එකඟයි - විජිත හේරත්

මැතිවරණ කොමිසමේ තීරණයට අපි එකඟයි - විජිත හේරත්

October 1, 2024   08:56 pm

රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයට එකඟව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (01) පැවසීය.

ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

කැබිනට් ප්‍රකාශක  අමාත්‍ය විජිත හේරත් මහතා,

"මේ මැතිවරණ කාලයක් නිසා මැතිවරණ කොමිසම ඒක අත්හිටුවන්න කියලා තියෙනවා. අපි මැතිවරණ කොමිසමේ තීන්දුවට එකඟයි. ඒ අනුව අපි කටයුතු කරනවා."

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් 15,000 ක පොහොර සහනාධාරය එළඹෙන මහ කන්නයේදී රුපියල් 25,000ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 26 වනදා පියවර ගත්තේය.

කෙසේවෙතත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක අදාළ සහනාධාර ලබාදීම හරහා එක් පාර්ශ්වයකට වාසි සහගතවිය හැකි බැවින් මෙම සහනාධාර ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පියවර ගනු ලැබීය.

අදාළ යෝජනාව මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දී තිබුණි.

මේ අතර මැතිවරණය කොමිසම ගත් අදාළ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් ජාතික සංවිධානය එකමුතුව අද දහවල් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් භාරදුනි.

මේ වනවිට ඇතිවී ඇති තත්ත්වය හමුවේ එළඹෙන මහ කන්නය සඳහා පොහොර සහනාධාරය ප්‍රමාද වුවහොත් ඉදිරියේදී සහල් හිඟයකට මුහුණදීමට සිදුවිය හැකි බවට ගොවි සංවිධාන අනතුරු අඟවා තිබේ.