Tiktok තහනමට එරෙහිව අමෙරිකාව සමග සටනක්

Tiktok තහනමට එරෙහිව අමෙරිකාව සමග සටනක්

August 16, 2024   03:23 pm

චීන බයිට්ඩාන්ස් සමාගමේ ජනප්‍රිය වීඩියෝ හුවමාරු යෙදවුම 'ටික්ටොක්' අමෙරිකානු මෙහෙයුම් විකුණා දමන ලෙසත්, මාස 06ක් ඇතුළත එය සිදුනොකළ හොත් අමෙරිකාවේ ටික්ටොක් තහනම් කරන බවටත් කොංග්‍රස් මණ්ඩලය සම්මත කරගත් නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ඉදිරිපත් කළ පෙත්සම අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයේදී විභාග කිරීම දැන් ආරම්භ වී තිබේ.

ඊයේ (15) එම අධිකරණ විභාගයේ පළමු දිනයේදී චීන බයිට්ඩාන්ස් සමාගම ප්‍රකාශ කළේ, එම සිද්ධියේදී අධිකරණ දෙපාර්තමේන්තුව සැබෑ කරුණු විකෘති කිරීමක් සිදුකර ඇති බවය. 

අමෙරිකාවේ ටික්ටොක් ග්‍රාහකයන්ගේ දත්ත චීන රජය විසින් ලබාගන්නා බවට අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥයන් සිදුකළ කරුණු දැක්වීම පිළිබඳව ඔවුන් මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය. 

චීන රජය අමෙරිකානුවන් දත්ත එක්රැස් කිරීමට මෙන්ම, ඔවුන්ට දැකිය හැකි අන්තර්ගතය (content)වෙනස් කරන බවත්, එය අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥයන් කියා සිටියේය.

එහෙත් ටික්ටොක් යෙදවුමේ අමෙරිකානු මෙහෙයුමේදී ලබාගන්නා දත්ත ගබඩා කර ඇත්තේ අමෙරිකාවේ බවත් එය ඔරකල් සමාගමේ 'ක්ලවුඩ් සර්වර්ස්වල' ගබඩා කෙරෙන බවත් බයිට් ඩාන්ස් සමාගම පෙන්වා දුන්නේය. 

එමෙන්ම ටික්ටොක් අන්තර්ගතය පාලනය කෙරෙන්නේ එහි අන්තර්ගත නිර්දේශ යන්ත්‍රය (content Recomendation Engine) මඟින් බව අවිවාදාත්මක කරුණක් බවත් බයිට්ඩාන්ස් සඳහන් කළේය. 

මේ නිසා අදාළ නීතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස බයිට්ඩාන්ස් සමාගම අමෙරිකානු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පසුගිය අප්‍රේල් 24 වැනිදා ජනපති ජෝ බයිඩන් විසින් අත්සන් තැබීමත් සමග නීතියක් බවට පත්වූ අමෙරිකානු ටික්ටොක් තහනම් කිරීමේ කොන්දේසිය ක්‍රියාත්මක වීමට ලබන වසරේ ජනවාරි 19 වැනිදා දක්වා කල් තිබේ.

චීන සමාගම අදාළ කාලය තුළ අමෙරිකානු ටික්ටොක් මෙහෙයුම් විකිණීමට අසමත් වුණොත් තමයි එම තහනම ක්‍රියාත්මක වේ.

මේ අතර හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටික්ටොක් සමාජ මාධ්‍යයට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු ටික්ටොක් තහනමට සහාය නොදක්වන බවය. 

කෙසේ නමුත් තමන්ගේ පළමු ජනාධිපතිධුර කාලසීමාවේදී ඒ කියන්නේ 2020 වසරේදී අමෙරිකාව ටික්ටොක් තහනම් කරන්න මුලින්ම නියෝගයක් නිකුත් කළේ හිටපු ජනපති ට්‍රම්ප් විසිනි.

කෙසේ නමුත් ඒ පියවර අමෙරිකානු අධිකරණය මඟින් වළක්වනු ලැබීය.

මේ අතර ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂිකා කමලා හැරිස් ද සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ටික්ටොක් භාවිත කරමින් සිටින බව වාර්තා වේ.