කටුනායක විදෙස් මුදල් ජාවාරම උකුස්සා හෙළිකරයි

කටුනායක විදෙස් මුදල් ජාවාරම උකුස්සා හෙළිකරයි

June 13, 2024   08:13 pm

අධි ආරක්ෂිත කලාපයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ නීතිවිරෝධි අයුරින් විදෙස් මුදල් මිලදී ගන්නා හා හුවමාරු කරන ජාවාරමක් පිළිබඳව අද දෙරණ 'උකුස්සා' ට තොරතුරු ලැබුණි.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවය.

විදෙස් මුදල් මිලදීගැනීම, අලෙවි කිරීම හා හුවමාරු කිරීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත බලපත්‍ර ලාභී බැංකු සහ බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණි.

එවන් පසුබිමක මෙරට තුළ ඇති ප්‍රධානතම ගුවන්තොටුපොළ තුළදී නීතිවිරෝධී අයුරින් විදෙස් මුදල් මිලදී ගන්නා කන්ඩායමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණි.

දිවයිනට වැඩිපුරම ගුවන්යානා පැමිණෙන අලුයම 2ත් 4ත් අතර කාලයේදී උකුස්සා ගුවන්තොටුපොළ වෙත ළඟාවුණි.

එහිදී දැකගත හැකිවුණේ අධි ආරක්ෂිත ස්ථානයක් වන ගුවන්තොටුපොළ තුළ පිරිසක් කිසිඳු පැකිලීමකින් තොරව විදෙස් රටවල සිට පැමිණෙන දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් විදෙස් මුදල් මිලදී ගන්නා ආකාරයයි.

මැදපෙරදිග සිට පැමිණෙන ලාංකික කාන්තාවන් මොවුන්ගේ ප්‍රධානතම ඉලක්කය බව එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයන් කිහිප දෙනකුම උකුස්සාට අනාවරණ කළේය.

විදෙස් මුදල් මෙරට බැංකු පද්ධතිය හරහා රට තුළට පැමිණිය යුතු වූවත් මෙවන් පිරිස් හේතුවෙන් එය නිසි ලෙස සිදු නොවේ.

ඉන් සිදුවන්නේ මෙරට බැංකු පද්ධතිය කඩාවැටීම මෙන්ම විදෙස් මුදල් සංචිත ප්‍රමාණයටද බලපෑම් එල්ලවීමය.

එසේ නම් නිද්‍රාශීලීව සිටින ගුවන්තොටුපොළ බලධාරීන් දැන්වත් මේ පිළිබඳව සොයාබලා මෙම පුද්ගලයන්ට වැටබැඳීම කඩිනමින් සිදුකළ යුතු කාර්යයක් නොවන්නේද?

මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙනි.