ඉන්දියානුවන්වත් රවටා රුසියාවට යවලා - මරණ දෙකක් නිසා සියල්ල හෙළිවෙයි

ඉන්දියානුවන්වත් රවටා රුසියාවට යවලා - මරණ දෙකක් නිසා සියල්ල හෙළිවෙයි

June 12, 2024   11:00 am

රුසියානු හමුදාව මගින් බඳවා ගන්නා ලද ඉන්දියානුවන් දෙදෙනෙක් යුක්‍රේන - රුසියා යුදබිමේදී මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ මිය ගොස් ඇති දෙදෙනාගේ සිරුරු ඉන්දියාවට එවීමට කටයුතු කරන ලෙස රුසියානු බලධාරීන්ට දැනුම්දුන් බවයි.

එසේම රුසියානු හමුදාවට බඳවා ගෙන සිටින ඉන්දීය ජාතිකයින් හැකි ඉක්මණින් නිදහස් කර ඔවුන්ව නැවත බාරදෙන ලෙසද ඉන්දීය බලධාරීන් රුසියාවෙන් ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් මොස්කව් බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

විවිධ වංචනිකයින් විසින් ඉන්දීය තරුණයින්ව විශාල වැටුප් ලබාදෙන බවටත් රුසියානු පුරවැසිභාවය දෙන බවටත් රවටා රුසියාවට යවා ඇති බව වාර්තා වෙයි.

ඔවුන්ට රැවටුණු විශාල පිරිසක් මේ වනවිට රුසියාවට ගොස් ඇති බව සඳහන් ය.

පසුගිය මැයි මාසයේදී මිනිස් ජාවාරමට සැකපිට සිව් දෙනෙක් ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. එම පුද්ගලයින් තරුණ ඉන්දියානුවන්ව රුසියාවේ අධ්‍යාපන අවස්ථා සහ රැකියා ලබාදෙන බව පවසා රුසියාවට යවා තිබුණු බව හෙළිවිය.

පසුව ඔවුන්ව බලහත්කාරයෙන් හමුදා සේවයට යොදවා තිබුණි.

මීට පෙරද යුක්‍රේන - රුසියා යුදබිමේදී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් මියගොස් තිබුණි.

මේ අතර බොරු පොරොන්දුවලට රැවටී රුසියාවට නොයන ලෙස නේපාලය සහ ශ්‍රී ලංකාව ද සිය වැසියන්ට අනතුරු අඟවා තිබේ.

මේ වනවිට දෙරටේම විශාල පිරිසක් යුක්‍රේන - රුසියා සටන්බිමේ සිටින බව වාර්තා වෙයි.

එහිදී නේපාල වැසියන් 20 දෙනෙක් මියගොස් ඇති අතර යුක්‍රේන - රුසියා යුදබිමේදී මියගොස් ඇති බවට වාර්තා වන ශ්‍රී ලාංකිකයින් ගණන 16කි.

එසේම ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රුසියාවේ අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීමේ අරමුණෙන් ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් මේ මස අගදී රුසියාවේ සංචාරය කිරීමට නියමිතය.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මොස්කව් නුවරදී රුසියානු විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමටත් ශ්‍රී ලාංකිකයින් රුසියානු හමුදාවට බඳවා නොගන්නා බවටත් එහිදී සර්ජෙයි ලැව්රොෆ් එකඟ වූ බව මෙරට විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.