ලොකු වැස්සක් ගැන ජනතාවට දැනුම්දීමක්

ලොකු වැස්සක් ගැන ජනතාවට දැනුම්දීමක්

May 14, 2024   04:56 pm

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පැය 36ට අදාළව කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එහි සඳහන්ව ඇත.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.