
නයිල් නදියේ ජල අයිතිය මුල්කරගෙන ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර රාජතාන්ත්‍රික මත ගැටුමක් ආරම්භ වී තිබේ.
ඒ නයිල් නදියේ ජලයෙන් දැවැන්ත ජලාශයක් පුරවාගැනීමට ඉතියෝපියාව කටයුතු කිරීමත් සමඟ ය.
නයිල් නදිය පෝෂණය වන අයුරු..
නයිල් නදිය ප්‍රධාන අතු ගංගා දෙකකින් පෝෂණය වන අතර ඒවා නිල් නයිල් නදිය සහ ශ්වේත නයිල් නදිය ලෙස හඳුන්වයි.
ශ්වේත නයිල් නදිය, ගංගාවේ ප්‍රධාන ජල මාර්ගය ලෙස සැලකෙන අතර වික්ටෝරියා විලෙන් ආරම්භ වන එය නිල් නයිල් නදිය හා එක්වන්නේ සූඩානයේ කාර්ටුම් අගනුවර ආසන්නයේ දීය.
නිල් නයිල් නදිය, ගංගාවේ ප්‍රධාන ජල පෝෂක අතු ගංගාව වන අතර එය ඉතියෝපියාවේ ටානා විලෙන් ආරම්භ වෙයි.
වාර්තාවලට අනුව ඉන් නයිල් නදියේ සමස්ත ජල ප්‍රමාණයෙන් සියයට 85ක් පමණ සපයයි.
එම නදියේ ජලය කොටසක් තම නව විදුලි උත්පාදන ව්‍යාපෘතිය වන මහා ඉතියෝපියානු පුනරුද ජලාශය පිරවීම සඳහා ඉතියෝපියාව කටයුතු කර තිබේ.
මෙමගින්, තවමත් විදුලිය නොමැතිව වෙසෙන මිලියන 60 ඉක්මවූ ඉතියෝපියානුවන්ට විදුලි බලය ලබාදීම සිය අපේක්ෂාව බව ජනාධිපති අබි අහ්මඩ් පවසයි.
මේ ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ ජලාශය පුරවා අවසන් කළ බවට නිවේදනය කළේ ඉතියෝපියානු ජනාධිපති අබි අහ්මඩ් විසිනි.
ඉතියෝපියානු පුනරුද වේලි ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මෙම ජලාශය පිහිටුවා ඇත්තේ සුඩාන, ඉතියෝපියා දේශසීමාවට කිලෝමීටර් 30ක් ආසන්නයේ ය.
වසර 12ක් පුරා එහි ඉදිකිරීම් සිදුකෙරුණත් තවමත් එහි ඉදිකිරීම් අවසන් වී නැහැ.
මෙම ජල විදුලි ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 4.2කි.
එමෙන්ම එය වාර්තා අතරට එක්වන්නේ අප්‍රිකාවේ විශාලතම ජල විදුලි වේලි ව්‍යාපෘතිය වශයෙනි.
ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2011 වසරේ සිට ඉතියෝපියාව, සුඩානය හා ඊජිප්තුව අතර මත ගැටුම් පවතියි.
ව්‍යාපෘතිය පිළිබඳ අභ්‍යන්තර සහ බාහිර මත ගැටුම් පැවතියත්, එහි විදුලි උත්පාදන කටයුතු පසුගිය වසරේ මුල් භාගයේදී ආරම්භ විය.
ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 6,000ක විදුලි බලයක් උත්පාදනය කරගැනීම ඉතියෝපියාවේ සැලැස්මය.
බලධාරීන් පවසන්නේ, එය එරට සමස්ත ජනගහණයෙන් සියයට 60කට විදුලිය සැපයීමට ප්‍රමාණවත් බවය.
එය එරට සමස්ත විදුලි ජනනය දෙගුණ කිරීමට ද දායකවෙයි.
එමෙන්ම අසල්වැසි රාජ්‍යයන් වන සුඩානය, දකුණු සුඩානය, කෙන්යාව, ජිබුටි සහ එරිත්‍රියාව යන රටවල් වෙත ද විදුලිය සැපයීමට එමගින් සැලසුම් කර තිබේ.
කෙසේ නමුත් සුඩානය සහ ඉතියෝපියාව පෙන්වා දෙන්නේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අදාළ කොන්දේසි සහ නීති නිසි ලෙස සැපිරීමට ඉතියෝපියාව කටයුතු කළ යුතු බවය.
නයිල් නදිය මධ්‍යධරණී මුහුදට ගලා බසින්නේ ඊජිප්තුව හරහාය.
එමෙන්ම ඊජිප්තුව වෙසෙන මිලියන 107ක ජනගහනය සිය සම්පූර්ණ ජල අවශ්‍යතාව සපුරාගන්නේ නයිල් නදියෙනි.
ඔවුන් එදිනෙදා අවශ්‍යතා සඳහා මෙන්ම, කපු වැවීම ඇතුළු රටේ සියලු කෘෂිකර්ම අවශ්‍යතා සඳහාද මෙම ජලය භාවිත කරයි.
ඊජිප්තුවේ ප්‍රධාන ජල විදුලි ව්‍යාපෘතිය වන අස්වාන් වේල්ල ව්‍යාපෘතියේ ජලාශය වන නසාරේ විල පිරවීම සඳහාත් ඊජිප්තුව යොදාගන්නේ නයිල් නදියේ ජලයයි.
ඊජිප්තුව චෝදනා කරන්නේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ ඉතියෝපියාව ගංගාවේ පහළ නිම්නවල ඇති රටවල් නොතකා කටයුතු කර ඇති බවය.
එමෙන්ම ගංගාවේ ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් රටවල් තුන 2015 වසරේදී අත්සන් තැබූ ගිවිසුම මෙම ක්‍රියාවලිය මගින් උල්ලංඝනය වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
ජලාශය මෙලෙස පිරවීම නීතිවිරෝධී ක්‍රියාවක් බව ඊජිප්තුව චෝදනා කරයි.
නදියේ ජලය නිකුත් කිරීම සියයට 2කින් පහළ ගියහොත් ඊජිප්තුවේ අක්කර ලක්ෂ 2ක ගොවි බිම් විනාශ වනු ඇතැයි ද ඊජිප්තුව තර්ක කරයි.
එමෙන්ම ඔවුන් පවසන්නේ, ඉන් ගඟ පහළ ප්‍රවාහන කටයුතු සඳහා ද බාධා එල්ල වනු ඇති බවය.
රට අභ්‍යන්තර ගැටුමකට මුහුණදී සිටින සුඩානය, ඉතියෝපියාවේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවමත් සිය අදහස් පළකර නැති බව සඳහන් ය.
එරට වෙසෙන මිලියන 48ක ජනතාව සිය ජල අවශ්‍යතාවෙන් වැඩි කොටසක් සපයා ගන්නේ නයිල් නදියේ ජලයෙන් වීම විශේෂත්වයකි.
කෙසේ නමුත් සැලසුමට අනුව ඉතියෝපියාව තම ඉතියෝපියානු පුනරුද ජලාශය පිරවීමට කටයුතු කරන්නේ වසර 3කට එක් වරක් පමණි.

















































