header logo
SLIC
උණුසුම් පුවත්
ටයිටැනික් අසල ටයිටන් සුන්බුන් වූ අයුරු
Jun 23, 202301:07 PM
ටයිටැනික් අසල ටයිටන් සුන්බුන් වූ අයුරු
EDEX

ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට ගිය ටයිටන් සබ්මැරීනය පුපුරා විනාශවී එහි සිටි මගීන් පස්දෙනාම මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක සේවය තහවුරු කළේය.

නමුත් අමෙරිකානු බලධාරීන් පවසන්නේ මියගිය පිරිසගේ මෘතදේහ සොයාගැනීම දුෂ්කරවනු ඇති බවය.

මගීන් 5දෙනෙකු රැගත් කුඩා ප්‍රමාණයේ ටයිටන් සබ්මැරීනය සමග පෝලාර් ප්‍රින්ස් නෞකාව පසුගිය ඉරිදා ගමන් ආරම්භ කළේ නැගෙනහිර කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වරායෙනි.

අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800ක ගැඹුරේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය මේ පිරිසගේ අරමුණ විය.

නමුත් සබ්මැරීනය දියත් කර පැයයි මිනිත්තු 45කදී සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී ඇත.

එම සිද්ධිය වෙරළාරක්ෂක නිලධාරීන් වෙත දැනුම් දී තිබුණේ ඉන් පැය 8කට පසුවය.

අනතුරුව සබ්මැරීනය සොයා දින 4ක කාලයක් තිස්සේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණේ අමෙරිකානු, කැනේඩියානු, ප්‍රංශ සහ තවත් රටවල නාවුක මෙන්ම ගුවන් යානාවල සහායෙනි.

එමෙන්ම ඒ සඳහා දුරස්ථව ක්‍රියාත්මක කළ හැකි කුඩා යාත්‍රා මෙන්ම රොබෝ යන්ත්‍ර පවා යොදවා තිබුණි.

ඒ ටයිටන් යාත්‍රාව තුළ ගබඩා කර තිබිය හැකි ඔක්සිජන් අවසන්වීමට පෙර එය සොයාගැනීමේ අරමුණින්ය.

කෙසේනමුත් ටයිටැනික් නෞකාව අසල මුහුදු පතුලේ තිබියදී යම් යාත්‍රාවක සුන්බුන් සොයාගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ මෙවන් පසුබිමකය.

සෙවීම් හි නිරත හොරයිසන් ආටික් යාත්‍රාවට අයත් දුරස්ථ මෙහෙයුම් යාත්‍රාවක් මගින් මෙම සොයාගැනීම කර තිබුණි.

එම සුන්බුන් අතර ටයිටන් සබ්මැරීනයට අයත්, ගොඩබෑමේ රාමුව සහ තවත් කොටස් 5ක් ඇතැයි තහවුරු වූයේ එහි සිටි පිරිස නිරුපද්‍රිතව මුදාගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමිනි.

එම සුන්බුන් රැඳී තිබුණේ ටයිටැනික් නෞකාවේ සුන්බුන්වලට අඩි 1,600කට ඈතින් මුහුදු පතුලේ ය.

මේ අනුව සබ්මැරීනය යම් ලෙසකින් පුපුරා විනාශ වී ඇතැයි ද එහි ප්‍රතිඵලයක් ලෙස එහි ගමන්ගත් පස් දෙනාම ක්ෂණිකව මියගොස් ඇතැයි ද යාත්‍රාව හිමි ඕෂන් ගේට් සමාගම මෙන්ම අමෙරිකානු වෙරළාරක්ෂකයින් ද තහවුරු කළේ ඉන් අනතුරුවය.

සෝදිසි මෙහෙයුම ආරම්භවීමට පෙරම යාත්‍රාව විනාශ වී තිබෙන්නට ඇතැයි ද ඔවුන් අනුමාන කර ඇත.

අමෙරිකානු නාවුක හමුදාවට ටයිටන් අතුරුදන් වූ දිනයේදී යම් පිපිරුමක හඬක් ශ්‍රවණය වී ඇතැයි ද මෙහිදී අනාවරණ කර තිබේ.

එහෙත් සබ්මැරීනය පුපුරා ගිය නිශ්චිත වේලාව හෝ හේතුව ද මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත.

එමෙන්ම වින්දිතයින්ගේ මෘතදේහ සොයාගැනීමට හැකි වේද නැද්ද යන්න ද තහවුරු කළ නොහැකි බව ඔවුන් පවසයි.

සබ්මැරීනය හිමි ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෝල්ටන් රෂ්, බ්‍රිතාන්‍ය බිලියනපති ව්‍යාපාරික හර්මිෂ් හාඩින්, මිස්ටර් ටයිටැනික් ලෙස ප්‍රකට ප්‍රංශ ගවේෂක පෝල් හෙන්රි නාජොලෙට් සහ පාකිස්තාන ව්‍යාපාරික පිය පුතු දෙපළක් වන ෂෙහෙසාදා සහ සුලෙයිමාන් ඩාවුඩ් යන පිරිස ටයිටන් යාත්‍රාව තුළ ගමන් කරමින් සිටියේය.

ඔවුන්ගේ හදිසි මරණ සම්බන්ධයෙන් ධවල මන්දිරය ද ශෝකය පළකර තිබේ.

ටයිටන් සොයා සිදුකළ මෙහෙයුම්වලට නාවුක යාත්‍රා 9 ඇතුළු අනෙකුත් යන්ත්‍රෝපකරණ රැසක් යොදවා තිබුණු නමුත් සුන්බුන් හමුවීමත් සමඟ මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර ඇත.

කෙසේ නමුත් සුන්බුන් අසල සිදුකළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

අමෙරිකා වෙරළාරක්ෂක බලකායේ රියර් අද්මිරාල් ජෝන් මෝගර්,

"මෙහෙයුම් හි නිරත විශේෂඥයින් යාත්‍රාවේ පීඩන කුටියට සිදුවූ හානිය හඳුනාගෙන තිබෙනවා. අපි වහාම තහවුරු වූ තොරතුරු සම්බන්ධයෙන් අගතියට පත් පිරිසගේ පවුල්වලට දැනුම් දුන්නා."

https://youtu.be/yNaM3nK6oUw
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight