
තවත් පැය කිහිපයකින් යුක්රේනයේ කියුව් අගනුවර සම්පූර්ණයෙන් රුසියානු හමුදාවට නතු වනු ඇති බව අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් රුසියානු හමුදා එල්ල කරන දරුණු ප්‍රහාර හමුවේ වූවද යුක්රේන හමුදා තවමත් සටන අතහැර නොමැත.
කියෙව් නගරයේ මේ වනවිට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර රුසියානු හමුදා අද උදෑසන සිට නගරයේ ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර යුක්රේන හමුදා රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙළා තිබූ බවත් යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරවලින් විනාශ වූ රුසියානු ප්‍රහාරක යානා සංඛ්‍යාව 7ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු හමුදා තම ග්‍රහණයට ගෙන තිබූ කියෙව් ගුවන් තොටුපළ නැවත අත්පත් කර ගැනීමටත් යුක්රේන හමුදා සමත් වී තිබේ.
කෙසේ වෙතත් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි රුසියානු හමුදා සෙබළුන් 50 ක් ඝාතනය කළ බව යුක්රේනය ඊයේ ප්‍රකාශ කළද රුසියාව තවමත් සිදුවූ හානිය නිල වශයෙන් පිළිගෙන නොමැත.
දෙවන දිනටත් යුක්රේනයේ හඳුනා ගත් ඉලක්ක වෙත රුසියාව ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ගැටුම්වලින් මේ දක්වා යුක්රේන සෙබළුන් සහ සිවිල් වැසියන් 137 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
මේ අතර යුද්ධයේදී මියයන සොල්දාදුවන්ගේ මළසිරුරු විනාශ කර දැමීමේ පහසුකම් සහිත ජංගම ආදාහනාගාර නිපදවීමට රුසියාව පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇතැම් රුසියානු මව්වරුන් පවසා තිබුණේ තම පුතුන් රවටාගෙන පුටින්ගේ හමුදාවට බඳවාගෙන ඇති අතර ඔවුන් පුහුණු අභ්‍යාස සඳහා යුක්රේනයට යන බව පැවසූ බවය.
මේ අතර පුද්ගලයින් 14 දෙනෙකු සමඟ යුක්රේන හමුදා ගුවන් යානයක් කියෙව් ආසන්න ප්‍රදේශයකදී කඩා වැටී තිබේ.
ඊට ප්‍රහාරයක් එල්ල වී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත,
මේ අතර තුර්කියට අයත් නෞකාවකට ඊයේ යුක්රේනයේ වරාය නගරයක් වන ඔඩෙස්සා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණි.
කෙසේ වෙතත් ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
මේ අතර රුසියාවේ යුද ශක්තිය අඩපණ කිරීම සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමේ වැදගත්කම අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ජනාධිපති ජෝ බයිඩන්ට යෝජනා කර තිබේ.
අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රධානීන් පවසා ඇත්තේ, මෙම සයිබර් ප්‍රහාර එල්ල කිරීම මගින් යුක්රේනයේ සටන්වල නිරත රුසියානු හමුදාවන්ට අතිරේක සෙබළුන් අනියුක්ත කිරීම සහ අතිරේක පහසුකම් සැපයීම් ප්‍රමාද කළ හැකි බවය.
මීට අමතරව රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය, විදුලිබල පද්ධතිය ඉලක්ක කර ගෙන මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමේ මුලික මර්මස්ථාන ලෙස අමෙරිකානු ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙතෙක් අවසන් නියෝගයක් ලබාදී නැති බව අමෙරිකාවේ NBC පුවත් සේවය වාර්තා කළේය.
මේ අතර අමෙරිකාව විසින් තවත් 7,000ක හමුදා සෙබළුන් පිරිසක් ජර්මනියට යැවීමට පියවර ගෙන ඇති අතර නේටෝ සන්ධානයේ කොටසක් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන පැරණි සෝවියට් සමූහාණ්ඩුව වන බෝල්ටික් කලාපය වෙත අමෙරිකානු හමුදා සාමාජිකයින් 800 දෙනෙකු ගෙන් යුත් පිරිසක් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, තමන් අපේක්ෂා කළ සහාය නේටෝ සංවිධානයෙන් තම රටට ලැබී නැති බවය.
පැරුණි සෝවියට් දේශයට අයත් යුක්රේනය, අද යුරෝපා සහ බටහිර රටවලට සමීප වී සිටියත්, මෙතෙක් ඔවුන්ට නේටෝ සාමාජිකත්වය හිමිවී නොමැත.
යුක්රේන ජනාධිපති
"මම යුරෝපා සංවිධානයේ රටවල් 27 ක නායකයින්ගෙන් ඇහුවා යුක්රේනයට පුළුවන්ද නේටෝ සංවිධානය තුළ ඉන්න කියලා. මම කෙලින්ම ඇහුවා. හැමෝම බයයි, කවුරුත් උත්තර දෙන්නේ නැහැ. නමුත් අපි බය නැහැ, කිසිම දෙයකට බය නැහැ. අපි අපේ රට ආරක්ෂා කරන්න බය නැහැ. අපි රුසියාවට බයත් නැහැ. අපි මේ මොහොතේ නේටෝ සාමාජිකයන් නොවෙයි. නමුත් අපට ලැබෙන සහතික මොනවා ද? වැදගත්ම දෙය නම් අපට එම සහතික ලබා දෙන්නේ මොන රටවල්ද?"
මේ අතර යුක්රේන ජනාධිපති පවසන්නේ රුසියානු ආක්රමණයත් සමග රුසියාවේ පළමු ඉලක්කය තමන් බවය.
ඔවුන්ගේ දෙවන ඉලක්කය සිය පවුල බවත් පවතින තත්ත්වය අනුව තමන් සිටින්නේ දැඩි අවදානමක බවත් යුක්රේන ජනාධිපතිවරයා පවසයි.
පවතින තත්ත්වය හමුවේ වයස අවුරුදු 18 ත් 60 ත් අතර සියලුම පිරිමි පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කිරීමට යුක්රේන ජනාධිපතිවරයා පියවර ගත්තේය.
යුක්රේනය තුළ යුද නීතිය බලපැවැත්වෙන දින 90ක කාලය තුළ එය බලපැවැත්වෙනු ඇති.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, මේ වන විටත් යුක්රේන වැසියන් ලක්ෂයක් පමණ රටින් පළාගොස් ඇති බවත් තවත් බොහෝ පිරිසක් රටින් පිටවීමට උත්සහ දරමින් සිටින බවය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගනු ලැබූ තීරණයට ලොව නන් දෙසින් බලපෑම් සහ විරෝධතා එල්ලවී තිබේ.
ඒ අනුව රුසියාවට එරෙහිව තවදුරටත් දරුණු ආර්ථික සම්බාධක පැනවීමට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඊයේ පියවර ගත්තේය.
මේ අතර ජනාධිපති පුටින්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයේ ඇමතිවරයෙකු වන ජේම්ස් ක්ලේවර්ලි James Cleverly රුසියානු ජෙනරල්වරුන්ගෙන් ඉල්ලා තිබුණි.
මේ අතර ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයට එරෙහිව රුසියාව පුරා නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී තිබේ.
කෙසේ වුවද එම විරෝධතා ව්‍යාපාරයන්ට එක්වූ දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් රුසියානු පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර යුක්රේන අගනගරය වන කියුව් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය, ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීමත් සමග දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් හටගනු ලැබීය.
ප්‍රදේශයේ පැවති දරුණු ගැටුම් මැද යුක්රේන පාලනයේ පැවති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ඇතුළු ප්‍රදේශයේ බලය අවසානයේ රුසියානු හමුදාව අත්පත් කරගනු ලැබීය.
සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමට ද හේතුවක් වූ චර්නොබාල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යන්නේ 1986 වසරේදීය.
ලොව විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකුණු, එහි විකිරණ ධාරා යුක්රේනය, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කළේය.
වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා ඇති මේ නගරයේ බලාගාර තුළ න්‍යෂ්ටික විකිරණ අපද්‍රව්‍ය ගබඩා කර ඇති අතර ගැටුම් හේතුවෙන් යළි න්‍යෂ්ටික අනතුරු සිදුවේදැයි මේ වන විටත් සැක පළවී තිබේ.
යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවන්නේ යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් ඉන් පිටවන විකිරණශීලීත්වය යුක්රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවය.
















































