
බැංකොක්හි පැවැති ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වයට ශ්‍රී ලංකාව තේරී පත්ව තිබේ.
ධරණීය සංවර්ධනය සඳහා වූ හත්වැනි ආසියා පැසිෆික් සංසදය (APFSD) වත්මන් කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් 'නව යථාර්ථයන්ට'අනුගතව ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ‘වර්චුවල්’ රැස්වීමක් ලෙස මැයි 20 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත් විය.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කවුන්සිලයේ (UNESCAP) ශ්‍රී ලංකා නිත්යග නියෝජිත මෙන්ම තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිලෙස කටයුතු කරන සමන්තා ජයසූරිය මහත්මිය එම 7 වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපති ධුරයට ඒකමතිකව තේරී පත්ව තිබේ.
ඒ අනුව තානාපතිතුමිය ඉදිරි වසරක කාලයක් සභාපති ධුරය හොබවනු ඇත.
‘ආසියා පැසිෆික් කලාපයේ 2030ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග’ යන තේමාව යටතේ 7 වැනි ආසියා පැසිෆික් සංසදය පැවත්විණි.
2030ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කරගැනීම සඳහා එක්සත් ජාතීන් ‘ක්‍රියාකාරී දශකය’ ප්‍රකාශයට පත්කළ බව සමාරම්භක සැසිවාරය අමතමින් සිහිපත් කළ තානාපතිනි ජයසූරිය මහත්මිය එම අරමුණු අත්පත් කරගැනීමේ දී සියලූම ආයතන හා සමාජයේ සියලූම සාමාජිකයන් මෙන්ම බහුපාර්ශ්වික සහයෝගීතා රාමුවක් තුළ සියලුම පාර්ශවකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් ජාතික හා කලාපීය මට්ටමින් මනා ලෙස සම්බන්ධීකරණය කළ ප්‍රතිචාරයන්ගේ වැදගත්කම අවධාරණය කළාය.
කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ සමුළුව අමතමින් ශ්‍රී ලංකා ධරණීය සංවර්ධනය පිළිබඳ කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුගත් යාලේගම මහතා කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය මැඩපැවැත්වීමට සහ ධරණීය සංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර සමුළුවට ඉදිරිපත් කළේය.
පශ්චාත් කොවිඩ් 19 සංදර්භය හමුවේ හදිසි සහ මධ්‍ය කාලීන උපාය මාර්ග වෙත අවධානය යොමුකිරීමේ වැදගත්කම හුවා දක්වමින් 2030 ධරණීය සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රයට උද්ගතව ඇති නව යථාර්ථයන් ඇතුළත් කළ යුතු බව ඔහු තවදුරටත් පැවසීය.
සාමාජික රටවල්, ප්‍රධාන හවුල්කරුවන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් 730කට අධික පිරිසක් අන්තර්ජාලය ඔස්සේ මෙම සැසියට එක්වූ අතර ධරණීය සංවර්ධනය පිළිබඳ හයවෙනි ආසියානු පැසිපික් සමුළුවේ සභාපතිත්වය දැරූ ටිමෝර් ලෙසතේ රාජ්‍යයේ නීති ප්‍රතිසංවිධාන සහ පාර්ලිමේන්තුව භාර අමාත්‍යවරයා වන ෆිඩෙලිස් මගල්හයිස් මහතා විසින් සමුළුව ආරම්භ කිරීම ප්‍රකාශයට පත් කරන ලදී.
වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුව සියලු පාර්ශවකරුවන් එක්වූ අන්තර් රාජ්‍ය සමුළුවක් වන අතර, ප්‍රධාන වශයෙන්ම විශේෂ අවශ්‍යතා ඇති රටවල් ඇතුළු සාමාජික රටවල ධරණීයසංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමපිළිබඳ වූ කලාපීය වේදිකාවක් වේ.
ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශිරන්ති රත්නායක, ධරණීය සංවර්ධනය පිළිබඳ කවුන්සිලයේ අධ්‍යක්ෂ සමන්ති සේනානයක, සහකාර අධ්‍යක්ෂ ෂැරොන් හේවාවඩුගේ යන අය කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ සමුළුවට එක්වූ අතර තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සරි ප්‍රධානී, පූර්ණිමා ගුණසේකර, කවුන්සලර් (වාණිජ) අනිල් සිරිමාන්න හා දෙවනි ලේකම් සරිතා රණතුංග යන අයද මෙම සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වූහ.



















































