Back to Top

ෆිදෙල් අසහාය නායකයෙක්ද..?

December 7, 2016  

ෆිදෙල් අසහාය නායකයෙක්ද..?


ලොව අසහාය නායකයෙකුගේ නික්ම යාම මහා බලවත් පාඩුවක් යැයි අතිශයෝක්තියෙන් පැවසිය යුතු නැත. එසේ පැවසිය යුතු නැති වන්නේ ඔහු තම ජීවිත කාලය තුළ තම ශ්‍රේෂ්ඨත්වය ක්‍රියාවෙන් පෙන්වා අවසන් කළ ශ්‍රේෂ්ඨයෙකු වීම නිසා වේ.

ෆිදෙල් කැස්ත්‍රෝ කී පමණින් ඔහුගේ විප්ලවීය පෞර්ෂය අප මනසේ සටහන් වන්නේ තවත් රූපයක් ද සනිටුහන් කරමිනි. ඒ අන් කිසිවකු නොව අර්නස්ටෝ චේ ගවේරා ය. මාක්ස් එංග්ලස් මෙන්ම ෆිදෙල්, චේ යනු විප්ලවයේ දැවැන්ත ප්‍රතිරූප දෙකකි. විප්ලවීය ජීවයත් න්‍යාය හා භාවිතාවත් එකසේ ආදර්ශමත් දහමක් කරමින් ලතින් අමෙරිකාව පමණක් නොව සෙසු රටවල්වල සමාජ විප්ලවයන්ට උත්තේජනය සැපයූ යුග පුරුෂයන් ය.



චේ ගවෙරා නොමැතිව කස්ත්‍රෝ කෙනෙකු නැත යැයි පැවැසිය නොහැකි වුවත් කස්ත්‍රෝ කෙනෙකු නො මැතිව චේ කෙනෙකු නැත යැයි කිව හැකි ය. ඒ මෙක්සිකෝවේ දී වත්මන් කියුබානු ජනපති රාවුල් කස්ත්‍රෝගේ මැදිහත් වීමෙන් ෆිදෙල්ට චේ මුණගැස්වීම ය. මෙම ඓතිහාසික හමුවීමෙන් අනතුරුව අද ලොවට ඉතිරි කර ඇති මතකය පීඩිත ජනයාගේ ද සමාජවාදය ප්‍රාර්ථනා කරන්නගේ ද හදවත් වලින් මැකිය නො හැකි වනු ඇත.

හෙට දින කියුබාවේ සමාජවාදය වෙනස් වුවත්, කස්ත්‍රෝගේ කියුබානු පාලනය යනු විසිවෙනි සියවසේ රාජකීය පෙළපතකට හිමිකම් නො කියූ දීර්ඝතම කාලයක් පාලනය ගෙන ගිය එකම නායකයාගේ පාලනය වනු ඇත. ලිබරල් ධනේශ්වර අර්ථයෙන් අත්තනොමතිකත්වයක්, ඒකාධිපතිත්වයක්, බල ලෝභයක් යැයි යන වදන් වලින් විවේචනයක් ගෙන ආ හැකි වුවත්, තම ජීවිත හා පාලන කාලය තුළ ගෙන ගිය අභීත නායකත්වය කියුබාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම හිස් තැනක් පෙන්වීමට නො හැකි ලෙස දේශපාලනික පරිණතභාවය ප්‍රකට කළ ශ්‍රේෂ්ඨයෙක් විය.



පරම්පරා ගණනකට විප්ලවයේ සහෝදරයා මෙන්ම විප්ලවයේ පිතෘවරයෙකු ලෙස මිනිස් හදවත් සමාජවාදය වෙනුවෙන් ජීවත් වන්නන්ගේ සිත් තුළ අපරාජිත ශක්තියක් ගෙනදුන් මහා මිනිසා ලංකා භූමියේ සමාජවාදයත් විප්ලවයත්, වෙනුවෙන් නැගී සිටින්නන්ට බලා ඇති අන්දම දෙස බැලීමේ දී අපට ලොව අනෙකුත් දේශයන්ට යන්නට ද අවැසි නැත.

මාක්ස්වාදය හා සමාජවාදය දේශපාලනික මතවාදයක් හා රටක් පාලනය කරන ක්‍රමයක් ලෙස යටත් විජිත කාලයේ දී ලංකාවට පැමිණ වර්ධනය වුවත්, ලංකා ඉතිහාසයේ පශ්චාත් යටත් විජිත ගමන් මග වෙනතකට හැර වූ හැත්තෑ එකේ අරගලය පමණක් නොව දෙමළ විමුක්ති අරගලයට ද පණ ගෙන දුන් ආදර්ශය වූයේ කියුබානු විප්ලවය හා ඊට පදනම් වූ මොන්කාඩා ප්‍රහාරය යි.



එය අසාර්ථක වුවත්, විවේචන ගෙන දෙන්නේ උවත්, ඉතිහාසය සිදු වී ඇත්තේ එසේ ය. ට්‍රොට්ස්කිවාදයෙන් පරිභාහිරව තනි රටක සමාජවාදය ගොඩ නැගිය හැකි බවත්, මහ බලවතුනට අභියෝග කරමින්, සම්බාධක පිට සම්බාධක පැමිණිය ද රටක ජනතාවට ජීවිතය ගෙන දිය හැකි බව පෙන්වන්නට ඇති රට කස්ත්‍රෝගේ නායකත්වයෙන් යුතු කියුබාවය. සර්ව සම්පූර්ණ මිනිසුන් නැතිවා මෙන්ම, සර්ව සම්පූර්ණ පාලන ක්‍රම ද නැති තැන, කියුබානු පාලනයේ හිස්තැන් පෙන්විය හැකි වුවත්, රටක ජනයාගේ මූලික ජීවන අවශ්‍යතා සපුරමින් ජීවත් වන්නට අවැසි පරිසරයක් නිර්මාණය කරන ලද්දේ මකර කටක ඉඳගෙන බව ලංකා අපට කියුබාව දෙස බැලීමට සාධාරණ භෞමික හා කාලාපීය සාධක සපයා ඇත. එබැවින් විප්ලවීය ව්‍යාපාරයකට හා විප්ලවීය පෞර්ෂයකට කස්ත්‍රෝ සාධකය බැහැර කළ නො හැකි ය.

අර්නස්ටෝ චේ ගවේරාව විප්ලවවීය ආදර්ශමත් පරමාදර්ශයකට වඩා නූතන සමාජය රොමෑන්තික අනන්‍යතාවක් ගෙන දෙමින් සෑම තරාතිරකම මිනිසුන් වැළඳ ගනු ලැබුවත්, කස්ත්‍රෝ වැනි මිනිසෙකු අනුගමනය කිරීම හෝ අනුකරණය කිරීම මගින් විප්ලවය හෝ සමාජවාදය රොමෑන්ටික් කිරීමට මේ ධනේෂ්වර වෙළෙඳපළට හෝ සමාජවාදී සතුරාට එතරම් පහසු නොවනු ඇත. එසේම සමාජවාදය වෙනුවෙන් ක්‍රියාකරන්නන්ට ද පහසු නොවනු ඇත.



ඒ ඔහුගේ ඇති එක් විශේෂී ලක්ෂණයක් මෙන්ම දේශපාලන ජීවිතයේ අරමුණක ඇති තේජස හා ශක්තිය ඔහු තුළින් සිය මරණය දක්වා ජීවත් කරවීමය. වාර සිය ගණනක CIA ඝාතන තැත්වලින් බේරීමට හැකි වූ මේ අසහාය විප්ලවවාදියා ඉතිහාසයට එක්කළ ඓතිහාසික වදන වූ “ඉතිහාසය මා නිවැරදි කරාවී (Hisrory will obsolve me) “යන්න අපට වෙනස් කරමින් කිව හැකි වන්නේ ලොව පවත්නා සමාජවවාදයක් හෝ කියුබානු සමාජවාදය හෝ ලොවට අහිමි වුවත් ධනවාදයට එරෙහි සටනේ විපකල්පය සමාජවාදී ආත්මය බැවින්, එදිනට මේ ලෝක ගෝලය ඔබ නිවැරදි කරනු ඇත” යන්නය.

කස්ත්‍රෝ උපන්නේ කියුබාවේ ඔරිඑන්ටේ පළාතේ බයිරන් ප‍්‍රදේශයේ ය. ඒ 1923 අගෝස්තු 26 දිනයි.



විශාල උක් වගාවක හිමිකරු වූ ඈන්ජල් කස්ත්‍රෝ ආර්ගිස් ඔහුගේ පියාය.  මව ලීනා රීස් ය. ඔහුගේ මුල් නම වූයේ ෆිදෙල් ඇලිජැන්ඩෝ රූස් ය. ෆිදෙල් 1945 දී හවානා විශ්වවිද්‍යාලයට නීති ශිෂ්‍යයෙකු ලෙස ඇතුළත් විය.

එහිදී ඔහු බැටිස්ටාගේ ඒකාධිපති පාලනයත් ඇමරිකානු සමාගම් විසින් කියුබානු දේශය සූරාකෑමත් අත්විඳින ලදී. ඒනිසාවෙන්ම ෆිදෙල් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානයකට බැඳුණි. ඔහුගේ නායකත්ව ලක්‍ෂණ ඉස්මතු වී පෙනෙන්නට පටන් ගන්නේ එතැන් සිටයි.

ශිෂ්‍ය දේශපාලනයේදී ෆිදෙල් කැපී පෙනෙන චරිතයක් විය. 1952 මැතිවරණයට ඉදිරිපත් වෙමින් ඔහු ප‍්‍රසිද්ධ දේශපාලනයට පිවිසේ.ඔහු හවානා නගරයේ ආකර්ශනීයම දේශපාලන චරිතය විය.නමුත් බැටිස්ටා අසාධාරණ ලෙස එම මැතිවරණය අවලංගු කරන ලදී.



තම විප්ලවීය සගයන් සමඟ පවතින දූෂිත පාලනයට එරෙහිව පළමු වෙඩි මුරය තබමින් ඔවුන් 1953 ජූලි 26 මොන්කාඩෝ හමුදා බැරක්කයට පහර දුනි.

මේ සම්බන්ධයෙන් නීතියෙන් වරදකරු වූ ෆිදෙල් වසර 15ක සිර දඩුවමකට යටත් විය.

දෙවසරකින් නිදහස් වන ඔහු ආජන්ටිනාවට පළා යයි. එහිදී ඔහුට ආජන්ටිනාවේ වෛද්‍යවරයෙකු වූ සහ මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ අර්නස්ටෝ චේගුවේරා හමු වේ.

ආජන්ටිනාවේ සිට නැවත සිය සගයන් සමග කියුබාවට පැමිණීමේදීද විවිධ බාධකවලට මුහුණ පෑමට සිදු විය. බාධක මධ්‍යයේ වුවද සිය රටට පැමිණි ඔහු සියෙරා මයෙස්ත‍්‍රා කදුකරයේ සැඟව හමුදාව සංවිධානය කළේය.



හමුදාව සංවිධානය කර සන්නද්ධ  අරගලය දියත් කරමින් වසර දෙකක් තුළ බැටිස්ටාගේ සියලු මරමස්තාන  යටත් කර ගැනීමට ෆිදෙල්ට හැකි විය.

1959 ජනවාරි 01 අගනගරය අත්පත් කරගනිමින් ෆිදෙල් කියුබානු විප්ලවයේ විජයග‍්‍රහණය සනිටුහන් කළේය.ජෝස් මිරෝ නව රජයේ අගමැති විය.කස්ත්‍රෝ කියුබානු හමුදාව් ප‍්‍රධානියා විය.

මාස කිපයකින් අගමැති ජෝස් ඉල්ලා අස් වූ අතර 1959 පෙබරවාරි 16 දින කස්ත්‍රෝ කියුබාවේ අගමැති ධූරයේ දිවුරුම් දුන්නේය.

ඔහු සැබෑ නායකයෙකු ලෙස එතැන් පටන් කියුබාවට විශාල සේවයක් ඉටු කළේය.කස්ත්‍රෝ කියුබාවට නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ රාශියක් හදුන්වා දුන්නේය. වතු සහ කම්හල් ජනසතු කළේය.



එතෙක් පැවති ඇමරිකානු ඒකාධිකාරියට තිත තැබුවේය.නව කෘෂිකාර්මික ප‍්‍රතිසංස්කරණ හදුන්වා දුන්නේය.

කස්ත්‍රෝගේ වැඩපිළිවෙළ නොරිස්සූ අධිරාජ්‍යවාදීන් ඔහුට විවිධ කෙනෙහිලිකම් කරන ලදි.1959 සිට සී.අයි.ඒ ඒජන්තයින් විසින් ෆිදෙල්ව ඝාතනය කිරීමට 638 වතාවක් උත්සහ කර තිබේ.

කෙසේ වෙතත් ෆිදෙල් අසහාය විප්ලවීය ජීවගුණයකින් හෙබි දේශපාලන පෞරුෂයක් ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියැවී අවසන්ය.

රාවුල් 2008 වසරේ බලයට පත්වීමට පෙර ෆිදෙල් කස්ත්‍රෝ වසර 50ක් පමණ තනි පක්ෂ පාලනයක් රට තුළ සාර්ථක ලෙස පවත්වාගෙන ගියේය. විරුද්ධ පක්ෂය මර්දනය කළ බවට යම් යම් චෝදනා එල්ල වුවත් කියුබාවේ බහුතර ජනතාවගේ මතය වන්නේ ඔහු කියුබාව ජනතාව වෙත දිනා දුන් බවයි. තවද  ලොව පුරා වෙසෙන සමාජවාදී ජනතාවට කියුබාවේ ෆිදෙල් කස්ත්‍රෝ යනු, චේ ගුවේරාගෙන් පසු ඉතිරි වී සිටි ශ්‍රේෂ්ඨතම නායකයා විය.



දැන් වසර ගණනාවක පටන් ෆිදෙල් සක්‍රීය දේශපාලනයෙන් ඉවත් වී සිටි නමුත් පසුගියදා පැවති කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රසයේ අවසන් දිනයේදී ඔහු දුර්ලභ ගණයේ කතාවක් පැවැත්වුයේය. තමන් දැන් මහලු වියේ පසුවන බව එහිදී පිළිගත් ෆිදෙල්, එය එසේ වුවත් කියුබාවේ කොමියුනිස්ට් පක්ෂ සංකල්ප තවමත් වලංඟු බවත් කියුබානු ජනතාව විජයග්‍රාහී වනු ඇති බවත් කියා සිටියේය.

“මට ඉක්මනටම අවුරුදු 90 ලබනවා.” යනුවෙන් කියා සිටි ෆිදෙල් තවදුරටත් සඳහන් කළේ එපමණ කලක් ජීවත්වන්නට ලැබේ යැයි තමන් කිසිවිටෙක අපේක්ෂා නොකළ බවයි. “ඉක්මනටම මමත් අනෙක් අය වගේ වේවි. අපේ වාරය අපි හැමකෙනෙකු වෙතම එනවා.”යැයි ද ඔහු එහිදී පැවසුවේය.



ඇමරිකාවේ සහ සී. අයි. ඒ. සංවිධානය විසින් සිදුකළ ඝාතන උත්සාහයන් රාශියකින්ම කියුබානු නායකයා අවසන් මොහොතේ බේරී ගත් බව ප්‍රකට රහසකි. තවද ඔහු ලෝකයේ වැඩිම කලක් රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කළ, රජ පවුලකට අයත් නොවන නායකයාද වේ.

ෆිදෙල් කස්ත්‍රෝ 2006 වසරේදී සිය බලය සිය සහෝදරයා වෙත බාරදුන්නේ තීව්‍ර බඩවැල් රෝගයකින් පීඩා විඳින්නට පටන් ගත් නිසාය. එයින් වසර දෙකකට පසුව රාවුල් කියුබාවේ නිල නායකයා වශයෙන් වැඩ භාරගත්තේය.

එකී අසහාය කියුබාවේ විප්ලවීය නායක සහ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ වයස අවුරුදු 90 දී දිවියෙන් සමුගත් බව ඔහුගේ සොයුරු, වත්මන් කියුබානු නායක රාවුල් කැස්ත්‍රෝ පසුගිය නොවැම්බර් මස (26) දා සඳහන් කළේය.

“කියුබානු විප්ලවයේ නියමුවා එදින රාත්‍රී 10.29 ට මියගියේය’ යනුවෙන් ජනපති රාවුල් පැවසීය. රාවුල් කස්ත්‍රෝ සිය සහෝදරයාගේ මරණය ප්‍රකාශයට පත්කරමින් සිදුකළ රූපවාහිනී නිවේදනය අවසන් කළේ විප්ලවීය සටන් පාඨයක් වන ‘හැමවිටම ජයග්‍රහණය කරා’ යනුවෙන් පවසමිනි.

අනුවාදයකි

MOST VIEWED VIDEO STORIES

MORE >>