
'තියඩෝර් රූස්වෙල්ට්' (USS Theodore Roosevelt) ගුවන් යානා ප්‍රහාරක නෞකාව මැදපෙරදිග කලාපයට ළඟා වී ඇති බවත්, ඒ සමඟම එම කලාපයේ යොදවා ඇති එක්සත් ජනපද ගුවන් යානා ප්‍රහාරක නෞකා කණ්ඩායම් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිමිට්ස් (Nimitz) පන්තියේ මෙම යුද නෞකාව මේ මස මුලදී සිංගප්පූරුවෙන් පිටත්ව මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින්, මැදපෙරදිග පුරා මිලිටරි මෙහෙයුම් අධීක්ෂණය කරන එක්සත් ජනපද මධ්‍යම විධානයට (CENTCOM) අයත් ප්‍රදේශයට ඇතුළු වී තිබේ.
වර්ජිනියා හි නෝත්‍රොප් ග්‍රමන් (Northrop Grumman) සමාගම විසින් ඉදි කරන ලද සහ වසර 40 ක් පුරා සක්‍රීය සේවයේ යෙදී ඇති 'තියඩෝර් රූස්වෙල්ට්' නෞකාව, 9 වන ගුවන් යානා ප්‍රහාරක නෞකා කණ්ඩායමේ ප්‍රධාන නෞකාව ලෙස සේවය කර ඇති අතර, එය සැප්තැම්බර් 27 වන දින වත්මන් මෙහෙයුම් සඳහා පිටත්ව තිබේ.
මෙම නෞකාවේ පැමිණීම මඟින් දැනට ප්‍රධාන වශයෙන් අරාබි මුහුදේ ක්‍රියාත්මක වන අනෙකුත් අමෙරිකානු නෞකා දෙක තවදුරටත් ශක්තිමත් කරයි.
10 වන ගුවන් යානා ප්‍රහාරක නෞකා කණ්ඩායමේ කොටසක් ලෙස 'ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්' (USS George H.W. Bush) නෞකාව පසුගිය අප්‍රේල් මාසයේ සිට දීර්ඝ කරන ලද මෙහෙයුමක් යටතේ අදාළ කලාපයේ රඳවා තබා ඇති අතර, ජපානයේ යොදවා ඇති 'ජෝර්ජ් වොෂින්ටන්' (USS George Washington) නෞකාව අගෝස්තු මාසයේ සිට 5 වන ගුවන් යානා ප්‍රහාරක බලඝණය සමඟ එහි ක්‍රියාත්මක වේ.
මෙම නාවික බලමුලු ගැන්වීම සිදුවන්නේ පෙබරවාරි මස අගදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදු කළ ඒකාබද්ධ ප්‍රහාරවලින් ආරම්භ වූ පවතින ඉරාන යුද්ධය සහ වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ඇණහිට ඇති රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් මධ්‍යයේය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සාම සාකච්ඡාවලින් ඉවත් කළ අතර, වොෂින්ටනයට තවදුරටත් ඉරානය සමඟ කිසිදු ගිවිසුමක් අවශ්‍ය නොවන බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

















































