
ජාත්යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව අද (21) කොළඹදී නිල වශයෙන් ආරම්භ විය.
මෙම සමුළුවේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සහභාගී විය.
ආසියානු රටක ජාත්යන්තර පොලිස් සංගමයේ ලෝක සමුළුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, 2026 ඔක්තෝබර් 20 සිට 25 දක්වා පැවැත්වෙන මෙම අවස්ථාව සඳහා රටවල් 69ක් නියෝජනය කරමින් නියෝජිතයන් 400කට අධික පිරිසක් එක්ව සිටිති.
උත්සවය අමතමින් අමාත්ය විජිත හේරත් මහතා සඳහන් කළේ දේශසීමා හරහා සිදුවන අපරාධ, සංවිධානාත්මක අපරාධ ජාල සහ නීතිය ක්රියාත්මක කිරීමේදී මතුවන නව අභියෝගවලට මුහුණ දම සඳහා ජාත්යන්තර සහයෝගීතාව අත්යවශ්ය වන බවයි.
ලොව පුරා සාමාජිකයන් 600,000කට අධික පිරිසකගෙන් සමන්විත මෙම සංගමය, සේවයේ නියුතු සහ විශ්රාමික පොලිස් නිලධාරීන් අතර මිත්රත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගත් රාජ්ය නොවන සංවිධානයකි. “Servo per Amikeco” (මිත්රත්වය තුළින් සේවය) යන්න එහි ආදර්ශ පාඨයයි.
ජාත්යන්තර පොලිස් සංගමයේ වත්මන් ලෝක සභාපතිත්වය මාටින් හොෆ්මන් (Martin Hoffmann) මහතා විසින් හොබවන අතර, එහි ශ්රී ලංකා ජාතික සංගමයේ සභාපතිත්වය දරනු ලබන්නේ පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා විසිනි.
සමුළුවෙන් අනතුරුව ඔක්තෝබර් 25 සිට 31 දක්වා දිවයින පුරා විශේෂ සංචාරක වැඩසටහනක් ලෙස "IPA මිත්රත්ව සතිය" පැවැත්වීමට නියමිතය.


















































