
ගිනිගත්හේන නගරයේදී සිදුකළ විශේෂ හදිසි රථවාහන පරීක්ෂාවකදී, ත්‍රීරෝද රථ ඇතුළු වාහන 22ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා පවසයි.
ගිනිගත්හේන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාගේ සහයෝග ඇතිව ඊයේ (05) රාත්‍රීයේ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
එහිදී ත්‍රීරෝද රථ ඇතුළු වාහන 44ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් වාහන 22ක් මෙලෙස ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
වාහනවල මුල් ආකෘතිය වෙනස් කර අවදානම් සහිත අමතර කොටස් සවි කිරීම, නිසි ලෙස නඩත්තු නොකිරීම, යාන්ත්‍රික දෝෂ පැවතීම සහ අතිරේක විදුලි ලාම්පු සවි කිරීම යන අඩුපාඩු හේතුවෙන් මෙම පියවර ගත් බව මෝටර් රථ පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ධාවනයෙන් ඉවත් කළ වාහනවල ආදායම් බලපත්‍ර මෝටර් රථ පරීක්ෂකවරුන් භාරයට ගෙන ඇති අතර, අදාළ අඩුපාඩු සම්පූර්ණ කර නැවත පරීක්ෂාවට ඉදිරිපත් කරන තෙක් එම වාහන ධාවනය කිරීම තහනම් කර ඇත.





















































