
යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමෙන “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් සහ යහපත් සේවා ඉතිහාසයක් හිමි ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකු මෙහිදී ජනාධිපතිවරයා අතින් පදක්කම්වලින් පිදුම් ලැබූහ.
උත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, අද දින මෙම සම්මානයට ලක්වන ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රට සහ ජනතාව වෙනුවෙන් දහවලද, රාත්‍රියද, කාලගුණය යහපත්ද, අයහපත්ද, ජීවිත අවදානමක් තිබේද නැද්ද යන්න නොසලකා රාජකාරිය වෙනුවෙන් බැඳී සිටිමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අය බවය.
වර්ථමානයටද අවශ්‍ය වී ඇත්තේ එවැනි වගකීමට වග වූ රාජ්‍ය සේවයක් බවත් අතිශයින් සංකීර්ණ යුදමය කාල වකවානුවේදීත් ස්වභාවික විපත්වලදීත් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට වඩා වැඩි කැපකිරීමකින්, දරාගැනීමකින් සහ අවදානමකින් කටයුතු කළ මෙම නිලධාරීන්ගේ සාර්ථකත්වය පිටුපස සිටිමින් ශක්තියක් වූ බිරිඳ සහ පවුලේ සාමාජිකයන්ටද විශේෂ ස්තුතියක් පුද කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රජයක් ලෙස අද මුහුණදී සිටින සුවිශේෂ ගැටලුව වන්නේ ශක්තිමත් රාජ්‍ය සේවයක් නොමැතිකම සහ එය සැලකිය යුතු මට්ටමකින් බිඳවැටීමට ලක්වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක් ලෙස ඉදිරියට යාමට නම් අභියෝග ජයගත හැකි එවැනි ශක්තිමත් රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළේය. පොදුවේ රටක් ලෙස මුහුණ දී තිබෙන වෘත්තීයභාවය සහ විනය ඇති කර ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, බොහෝ රටවල් දියුණුව කරා ගමන් කර තිබෙන්නේ නීති රීතිවලින්ම පමණක් නොව ස්වයං විනයක් තුළින් බවත්, බාහිර පරිසරය ඊට පටහැනිව සකස් වී තිබියදීත් ස්වයං විනයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන බවත් පැවසීය.
මෙම විශිෂ්ට සේවා විභූෂණ පදක්කම තවදුරටත් පෞද්ගලික දෙයක් ලෙස නොව, සමාජමය කාර්යභාරයක් ලෙස සලකමින් දරුවන්ට, අසල්වැසියාට සහ ආයතනයට ආදර්ශයක් වන අයුරින් කටයුතු කළ යුතු බවත්, අන්තයට ගමන් කරමින් තිබෙන රාජ්‍ය සේවය සහ සමාජය යළි ගොඩනැඟීමට මෙම සේවය පදනමක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





















































