
මෙට්‍රො බස් සේවාව බස්නාහිර පළාතෙන් ඔබ්බට ව්‍යාප්ත කරමින් ගාල්ල, මහනුවර සහ යාපනය ප්‍රදේශවලටද හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (07) කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ මාසය තුළ මෙට්‍රො බස් සේවාවේ බස් රථ සංඛ්‍යාව 122ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත්, තවත් බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව මෙම වසර අවසන් වන විට හෝ ලබන වසරේ මුල් භාගයේදී මෙට්‍රො බස් සේවාව බස් රථ 172ක් දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙට්‍රො ආයතනය සමඟ ගිවිසුම්ගතව බස් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පෞද්ගලික අංශයටද අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙට්‍රො බස් සේවාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම ඒකාබද්ධව සිදුකරයි.
එම වැඩපිළිවෙළ යටතේ ඉදිකළ කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙට්‍රො ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පළමු ඩිපෝ අංගනය පසුගිය 04 වැනිදා බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේදී ජනතා අයිතියට පත්කර තිබුණි.
මෙට්‍රො බස් සේවාවේ පරිපාලන, මෙහෙයුම් සහ නඩත්තු කටයුතු ශක්තිමත් කිරීම සඳහා පළමු අදියර යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් නව ඩිපෝ 04ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
දැනට මෙට්‍රො බස් සේවාවේ මාර්ග අංක 01 යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා සේවා ක්‍රියාත්මක වන අතර, එම මාර්ගයට නව මෙට්‍රො බස් රථ 15ක් යෙදවීමටද කටයුතු කර ඇත.
එමෙන්ම බස් නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් පද්ධති, ඩිපෝ පහසුකම් සහ රථගාල් ඇතුළු අනෙකුත් ප්‍රවාහන සේවා සමඟ සම්බන්ධතාව වැඩිදියුණු කිරීමටද සැලසුම් කර තිබේ.
තවද, පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම වසර අවසන් වන විට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමටත්, ලංගම අරමුදල් යොදා තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

















































