
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ හානියක් සිදු කරමින්, අධිකරණය ජනාධිපතිවරයාගේ සහ විධායකයේ අතකොළුවක් බවට පත් කිරීමට රජය උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රදේශයේ පැවැති සමගි වනිතා බලවේගයේ බලමණ්ඩල රැස්වීම අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ අධිකරණයට විධායකයෙන් බලපෑම් සිදුවන බවට විදේශීය ආයෝජකයන් තේරුම් ගතහොත්, රටට ලැබීමට ඇති විදේශ ආයෝජන පවා සම්පූර්ණයෙන්ම අහිමි වී යන බවය.
මෙම සංශෝධනය මඟින් ලක්ෂ 220ක් වූ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, භාෂණයේ නිදහස සහ රැස්වීමේ නිදහස පවා අහෝසි කරමින් රට ඒකාධිපති පාලනයක් කරා ගෙන යන බවට හෙතෙම චෝදනා කළේය.
මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට රජය සමත්ව නොමැති අතර, විදුලි බිල අඩු කිරීම, සහන මිලට තෙල් ලබා දීම මෙන්ම 'අස්වැසුම' වැනි සහනාධාර පවා කප්පාදු කර ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

















































