
එල්නිනෝ බලපෑම් හමුවේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මුහුදු ක්ෂීරපායින් යැපෙන පෝෂණ ප්‍රදේශවලට බලපෑම් ඇතිවිය හැකි බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අද (07) පැවැති අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ, සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම සහ දියවැල්වල ස්වභාවය වෙනස්වීම හේතුවෙන් කොරල්පර සහ මුහුදු ශාක ආශ්‍රිත පෝෂණ ප්‍රදේශවලට බලපෑම් එල්ල විය හැකි බවය.
ගොඩබිම් පරිසර පද්ධතිවලට සිදුවන උෂ්ණත්ව බලපෑම්වලට සාපේක්ෂව සාගර ජලයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සෘජුව මැදිහත්වීම අසීරු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව, සිදුවිය හැකි හානිය අවම කිරීමට වඩා, යම් හානියක් සිදුවුවහොත් එය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් කොරල්පර සුදු පැහැ ගැන්වීමේ තත්ත්වයක් රට ආශ්‍රිතව වාර්තා වී ඇතිද යන්න පිළිබඳවද අදහස් පළ කෙරුණි.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, උෂ්ණ කාලවලදී කොරල්පර සුදු පැහැ ගැන්වීම සාමාන්‍යයෙන් සිදුවිය හැකි අතර, මේ වනවිට ස්ථාන දෙකක සුළු වශයෙන් එවැනි තත්ත්වයක් වාර්තා වී ඇති බවය.
කෙසේ වෙතත්, එය මේ දක්වා සැලකිය යුතු මට්ටමේ විනාශයක් බවට පත්ව නොමැති බවද ඔහු අවධාරණය කළේය.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා පෙන්වා දුන්නේ කොරල්පර මුහුදු ජලයේ උෂ්ණත්වයට ඉතා සංවේදී බැවින් උෂ්ණත්වය ඉහළ යාමෙන් ඒවාට දැඩි බලපෑම් එල්ල විය හැකි බවය.

















































