
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ මේ වනවිට දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 96,228 දෙනෙකු වාර්තා වී ඇති බවය.
සැප්තැම්බර් මාසයේ මුල් දින 04 තුළ පමණක් ඩෙංගු රෝගීන් 737දෙනෙකු වාර්තා වී ඇත.
අදාළ දත්තයන්ට අනුව ඉහළම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964ක් වේ.
ඊට අමතරව ජුනි මාසයේදී රෝගීන් 21,533ක් ද, අගෝස්තු මාසයේදී 10,155ක් ද, මැයි මාසයේදී 8,590ක් ද, ජනවාරි මාසයේදී 7,866ක් ද වශයෙන් රෝගීන් වාර්තා වී තිබේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේ දී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, සමස්ත රෝගීන්ගෙන් 52.84%ක් එනම් රෝගීන් 50,851ක් ඉන් වාර්තා වී ඇත.
එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 13,950ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,818ක්, සබරගමුව පළාතෙන් රෝගීන් 7,925ක් ලෙස ද වාර්තා වී තිබේ.

















































