
මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබේ.
කාරක සභාවේ සභාපති, අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී මෙම රැස්වීම පැවැත්විණි.
මෙහිදී විශේෂයෙන්ම සයිබර් අපරාධ, නීතිවිරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ මූල්‍ය වංචා මැඩලීම සඳහා පොලීසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
නීතිවිරෝධී සූදු සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රැස්වීමට එක්වූ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
එමෙන්ම මෙරට රැඳී සිටිමින් සයිබර් අපරාධවල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති අතර, අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණය වෙමින් ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු යොදා ඇති බව ද මෙහිදී අනාවරණය විය.
සයිබර් අපරාධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම ලබාදීම පිණිස මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගෙන ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ක්ෂේත්‍ර ප්‍රායෝගික පුහුණුව මෙන්ම විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කර ඇත.
මූල්‍ය වංචා සහ සයිබර් අපරාධ විමර්ශන කඩිනම් කිරීම සඳහා කාලීන මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමටත්, ක්‍රිප්ටෝ මුදල් භාවිතයෙන් සිදුවන අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා මඟහරවා ගැනීමටත් පියවර ගනිමින් සිටින බව නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.
මීට අමතරව, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන සංවේදී තොරතුරු බාහිරටයාම වැළැක්වීමේ වැදගත්කම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත්කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීතිවිරෝධී ක්‍රියා මැඩලීමට පොලිස් විමර්ශන කඩිනම් කිරීමේත්, නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මහජන සහාය ලබාගැනීමේත් වැදගත්කම කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

















































