
නවක සිවිල් සේවකයින් 160 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්ය මණ්ඩලයට නිල වශයෙන් එක්ව තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නවක සිවිල් සේවකයන් බඳවා ගැනීමේ නිල උත්සවය ඊයේ (02) ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
ඉන් දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන පුද්ගලයින් 25 දෙනෙකු ද බඳවා ගැනීම, හමුදා කාර්ය මණ්ඩලය තුළ සියලු ප්‍රජාවන්ගේ නියෝජනය සහතික කිරීම සඳහා ගුවන් හමුදාව දක්වන කැපවීම මනාව පෙන්නුම් කරන්නකි.
නවක පත්වීම්ලාභීන් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය අංශයේ දිගුකාලීනව පවතින කාර්ය මණ්ඩල හිඟයට විසඳුමක් ලෙස මෙම බඳවා ගැනීම සිදුකළ බවයි.
කුසලතාව සහ විනිවිදභාවය මත පදනම් වූ සාධාරණ තේරීම් ක්‍රියාවලියකින් පසු පත්වීම් ලැබූ නවක සේවකයන්ට ඔහු සිය ප්‍රශංසාව පළ කළේය.
සේවා කාලය තුළ විනය, අවංකභාවය සහ කාර්යක්ෂමතාව ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙසත්, ඩිජිටල්කරණයට ලක්වන ආරක්ෂක පරිසරය තුළ තාක්ෂණයට අනුගත වෙමින් වෘත්තීය භාවයෙන් යුතු ව කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා නවක සේවකයන්ට උපදෙස් දුන්නේය. දූෂණයෙන් තොර, ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ ජාතික දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා නවක සේවකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවද ඔහු එහිදී අවධාරණය කළේය.

















































