
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය අද (2) අවසන් කෙරුණි.
ඒ අනුව ලිඛිත දේශන ගොනුකිරීම සඳහා හෙට ප.ව. 3 දක්වා අවස්ථාව හිමිවන අතර, ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය, ජනපතිට හා කථානායක වෙත යොමුකරන බව පංච පුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.
අදාළ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 67ක් විභාග කිරීම ඊයේ (1) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.
පෙත්සම් විභාගයේ දෙවැනි දිනය වූ අද එය නිරීක්ෂණයට පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගම් සභාපති ස්ටීවන් තිරූ මහතාද පැමිණ සිටියේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභගය සිදුවිය.
ඊයේ පෙ.ව. 10ට පමණ ආරම්භ වූ පෙත්සම් විභාගය, එදින රාත්‍රී 10 පසුවන තෙක් පැය 12කට අධික කාලයක් මුළුල්ලේ සිදුකෙරුණි.
ඒ අනුව පෙත්සම් විභාගය දෙවැනි දිනට අද පෙ.ව. 10ට පමණ ආරම්භ වුණේ පෙත්සම්කාර පාර්ශ්ව රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්ය.
පෙත්සම් විභාගය ආරම්භ කරමින් පෙත්සම්කාර පාර්ශ්වයන් කිහිපයක් වෙනුවෙන් නීතිඥවරුන් මෙන්ම පෞද්ගලික පෙත්සම්කරුවන්ද සිය කරුණු දැක්වීම් මෙහිදී සිදුකළේය.
එම කරුණු දැක්වීම්වල සඳහන් වූයේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම ජනතා පරමාධිපත්‍ය ද උල්ලංඝනය වන බැවින් මෙය සම්මත කිරීමටනම් ජනමත විචාරණයකට යොමුකරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසය.
මෙහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඉදිරිපත්කළ පෙත්සම සම්බන්ධයෙන් උන් වහන්සේ කරුණු දක්වමින්,
"යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.
107(5) ව්‍යවස්ථාව නීතියක් බවට පත්කළේ මෙරට ජනතාව. එමනිසා එම ව්‍යවස්ථාව සංශෝධනය කළහැක්කේ ජනමත විචාරණයකින් පමණයි.
මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට රජය වෙත පනවා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙනවා" යනුවෙන් කරුණු දැක්වූ කස්සප හිමියන් සුත්‍ර පිටකය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරිම සිදු කළේය.
එම අවස්ථාවේදී කස්සප හිමි ඇමතූ අගවිනිසුරුවරයා,
"සමාවෙන්න ස්වාමීන් වහන්ස... මට ඔබ වහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොමද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතියයි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න" යනුවෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ කරුණු ලිඛිත දේශන මගින් දක්වන බව කස්සප හිමියන් ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම් ආරම්භ විය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතට සහාය පළකරමින් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
"ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් සඳහන් කළා මෙම සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට. මේක පිළිගන්න බැහැ ස්වාමිනී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ගැන කවූරුත් කතා කරන්නේ නෑ. එම සංශෝධනය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව වැඩි කළා.
ඒක ජනමතවිචාරණයකට ඉදිරිපත් කළේ නැහැ. එසේනම් විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ගැටළුවක් වන්නේ කොහොමද?
විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන් සහ විනිසුරු සංඛ්‍යාව ඉහළ නැංවීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ජනාධිපති වරයාගේ බලය කප්පාදු වීමක් සිදුවන්නේ නැහැ" යනුවෙන් සඳහන් කළේය.
අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතාය.
"ශ්‍රී ලංකාවේ ජනගහනය වර්ධනය සහ ජනතාවගේ ආයු කාලය වර්ධනය වීම සලකාබැලීමේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ඉතා කාලෝචිත බව සඳහන් කළ යුතුයි.
පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයේත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 70 සිට 75 දක්වා ඉහළ නැංවීම සිදු වුණා. එය සිදුකළේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින්.
එමනිසා වත්මන් සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදුනොවන බැවින් එය ජනමත විචාරණයකට යොමු කිරීමට අවශ්‍යවන්නේ නැහැ" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දැක්වීම ආරම්භ කළේය.
"මෙම පනත් කෙටුම්පත තුළින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම මෙන්ම අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව ඉහළ නංවා තිබෙනවා.
ඊට අමතරව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මහාධිකරණ සංඛ්‍යාව ඉහළ නංවා තිබෙන අතර පහළ අධිකරණ වල විශ්‍රාම වයස් සීමාව අවුරුදු දෙකකින් ඉහළ දමා තිබෙනවා.
මෙරට අධිකරණ කටයුතු පුළුල් කොට කාර්යක්ෂම කිරීමේ අරමුණින් තමයි රජය මේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කළේ. එසේ නොමැතිව තෝරාගත් විනිසුරුවරු පිරිසකට සහන සැලසීමේ අරමුණින් නොවෙයි.
මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත කාරණා ගැන අධිකරණය හමුවේ විවිධ තර්ක ඉදිරිපත් වුණා. නමුත් ඔබතුමන්ලාගේ වගකීම
තමයි මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල දැයි නිගමනය කිරීම.
ඉදිරියේදී කුමක් සිදුවේද යන උපකල්පනය සහ අනාවැකි මත ඔබතුමන්ලාගේ අධිකරණයට කටයුතු කරන්න බැහැ. මෙම පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට භාජනය විය හැකි ව්‍යවස්ථාමය ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදු වන්නේ නැහැ.
විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 වැනි ව්‍යවස්ථා කොහෙත්ම උල්ලංඝනය වන්නේ නැහැ. එම නිසා මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමුකිරීමට අවශ්‍යවන්නේ නැහැ.
මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් අවුරුදු 62 ක් ලෙස පැවතුණා. එය 1972 ව්‍යවස්ථාව තුළින් 63 දක්වා ඉහළ නැංවීම සිදුවුණා.
ඇතැම් පිරිස් විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම විනිසුරුවරුන්ට අල්ලස් ලබාදීමක් ලෙස අර්ථ කථනය කර තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. විනිසුරුවරුන්ට හිමිවන්නේ සාමාන්‍ය පහසුකම්. ඒවා අල්ලස් ලෙස හඳුන්වාදීම කනගාටුයි. එය විනිසුරුවරුන්ට කරන අවමානයක්.
විනිසුරු වැටුප් අඩුකළ නොහැකි බව ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහායි එවැනි ප්‍රතිපාදනයක් යොදා තිබෙන්නේ" යනුවෙන් සඳහන් කළා.
සොලිස්ටර් ජෙනරාල්වරයාගේ දේශනය අවසන්වීමෙන් පසුව යළි කරුණු දැක්වීමට පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරු කිහිපදෙනෙකු උත්සාහ කළත්, අගවිනිසුරුවරයා සඳහන් කළේ නැවත පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ දේශනවලට සවන්දීමට හැකියාවක් නොමැති බැවින් වැඩිදුර කරුණු ඇත්නම් ඒවා ලිඛිත දේශන වශයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.

















































