
දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ රිමාන්ඩ්, නව මැගසින් සහ වැලිකඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් කාන්තා සහ පිරිමි රැඳවියන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදීය.
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී.
මාස දහයක් තුළ සිදු කරන ලද අධ්‍යනයකින් පසුව එම කමිටු වාර්තාව ලැබී ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම විඳින සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20ක් දක්වා අඩු කිරීමට සහ රැඳවියන්ට නිවාස නිවාඩු යාම යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එම කමිටුව විසින් ලබාදී ඇත
මේ තුළින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට නිදහස්ව යාමේ විධිමත් පොදු සමා ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින කාන්තා සහ පිරිමි රැඳවියන් හමු වු අමාත්‍යතුමා සඳහන් කළේ එම වාර්තා කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවය.


















































