
අධ්‍යාපන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම සඳහා වන උපායමාර්ගික සැලසුම් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නිසි සැලසුමකින් තොරව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සිදුකරන ආයෝජන සහ උපකරණ අපතේ යා හැකි බැවින්, අදාළ වැඩසටහනේ නියමු අදියර සවිස්තරාත්මකව සැලසුම් කිරීමේ වැදගත්කම සහ එක් එක් ක්ෂේත්‍රයට අදාළ අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී විශේෂයෙන් අවධාරණය විය.
මෙම වැඩසටහන ආරම්භයේදී සීමිත පාසල් සහ උපකරණ සංඛ්‍යාවක් යොදාගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එමගින් ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් සහ ගැටලු අධ්‍යයනය කරමින් අවශ්‍ය සංශෝධන හා වැඩිදියුණු කිරීම් සිදු කිරීමට උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම ආරම්භක අදියරේදී හඳුනාගත් ආබාධ සහිත ඉගෙනුම්කරුවන්ගේ නිශ්චිත අවශ්‍යතා කෙරෙහි පමණක් අවධානය යොමු කරමින්, ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රමානුකූලව දීපව්‍යාප්ත මට්ටමින් පුළුල් කිරීමට ද සැලසුම් කර ඇත.
දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ මෙම වැඩසටහන ඒකාබද්ධ කෙරෙන අතර, එහි මූලික අදියරේදී 1, 2 සහ 6 ශ්‍රේණි කෙරෙහි ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.
මෙහිදී ආබාධ සහිත දරුවන් සඳහා දැනටමත් මූලික පහසුකම් පවතින පාසල් හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති පාසල් වෙත විශේෂ අවධානයක් හිමිවේ.
මීට අමතරව, නිසි හඳුනාගැනීමේ හා පරීක්ෂණ ක්‍රමවේද ස්ථාපිත කිරීම, අධ්‍යාපනඥයන් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම සහ ප්‍රවේශ පහසුකම් පිළිබඳ ප්‍රමිතීන් ශක්තිමත් කිරීම මගින් මෙම වැඩසටහන වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.


















































